කැලිෆෝනියාවේ මහා ගින්නක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ගින්න ආරම්භ වීමට හේතුව තවමත් අනාවරණය වී නැත

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ වේගයෙන් පැතිර ගිය ගින්නකට ගොදුරු වී අවම වශයෙන් දස දෙනෙකුවත් මරණයට පත්වී තිබේ.

දේපළ 1500ක් පමණ සම්පුර්ණයෙන් විනාශයට පත් වී ඇති අතර ප්‍රදේශවාසීන් ආරක්‍ෂිත ස්ථාන කරා යැවෙමින් පවතී.

මෙම ගින්න හේතුවෙන් කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "නිවාස විශාල සංඛ්‍යාවක් පිළිස්සී තිබෙනවා. ගින්න විශාල ප්‍රදේශයක පැතිරුනා. ඒ නිසා තවත් මළසිරුරු හමුවීමට ඇති ඉඩකඩ වැඩියි."

නාපා, සොමොනා සහ යූබා පළාත්වලින් පමණක් 20000ක් පමණ ජනතාව පලා ගොස් ඇති බව වාර්තාවන අතර මෙම ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය ලෙස සැලකේ.

කැලිෆෝනියාවේ දකුණු ප්‍රදේශයේ මෙවැනි ලැව්ගිනි නිතර ඇතිවන නමුත් උතුරුකරයේ විරලය. වියලි කාලගුණය සහ දැඩි සුළඟ මීට බලපා ඇත.

සොමොනා පලාතෙන් පමණක් මරණ හතක් වාර්තා වී ඇති අතර එහි පොලිස් ප්‍රධානියා කියා සිටියේ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවය.

"නිවාස විශාල සංඛ්‍යාවක් පිළිස්සී තිබෙනවා. ගින්න විශාල ප්‍රදේශයක පැතිරුනා. ඒ නිසා තවත් මළසිරුරු හමුවීමට ඇති ඉඩකඩ වැඩියි." පොලිස් ප්‍රධානි රොබ් ජෝර්දානෝ පැවසීය.

වයින් නිෂ්පාදනයට ප්‍රසිද්ධ නාපා සහ මෙන්ඩොසිනෝ හි අක්කර දහස් ගණනක් ගින්නට හසුවී ඇති අතර වයින් නිෂ්පාදනය සඳහා පවතින වගාබිම්වල සිටින කම්කරුවන් විශාල පිරිසක් හෙලිකොප්ටර් යානා ආධාරයෙන් වෙනත් ස්ථාන කරා ගෙනයමින් සිටී.

මෙම ගින්න ආරම්භ වීමට හේතුව තවමත් අනාවරණය වී නැත.

පැයට කිලෝමීටර 80ක පමණ වේගයකින් හමා යන සුළඟ හේතුවෙන් එය ඉතා ඉක්මනින් විශාල ප්‍රදේශයක් කරා පැතිර ගොස් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images