බොකෝ හරාම් සටනේ ළමා මිනිස් බෝම්බ

ඡායාරූප ශීර්ෂ වැකිය, බොකෝ හරාම් කැරැල්ල ඊශාන දිග නයිජීරියාවේ ජන ජීවිතය විනාශ කරනු ලැබ ඇත.

ඊශාන දිග නයිජීරියාවේ 'බොකෝ හරාම්' ඉස්ලාමීය ප්‍රහාරකයන් විසින් ළමුන් මිනිස් බෝම්බ හැටියට යොදා ගනු ලැබීම සැලකිය යුතු මට්ටමින් වැඩි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසන පරිදි බොකෝ හරාම් කැරලිකරුවන් විසින් මේ වසරේ ගත වූ මාස අට ඇතුළත ළමුන් බෝම්බ ප්‍රහාර සඳහා යොදා ගන්නා ලද අවස්ථා 83 ක් වාර්තා වී ඇත.

එය 2016 වසරට සාපේක්ෂව හතර ගුණයක වැඩි වීමකි.

යුනිසෙෆ් වාර්තාවන්ට අනුව බෝම්බ ප්‍රහාර සඳහා යොදා ගනු ලැබ ඇති ළමුන්ගෙන් 55 දෙනෙක් වයස අවුරුදු පහළොවට අඩු දැරියෝ වෙති.

කුඩා දැරියක් විසින් ගෙන යමින් සිටි බිලිඳු දරුවකුගේ සිරුරේ බෝම්බයක් ඔතා තිබුණ සිද්ධියක්ද වාර්තා වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පැහැර ගත් දරුවන් ඉල්ලා හඬන මව්වරුන්

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙන පරිදි 2014 වසරේ ඊශාන දිග නයිජීරියාවේ ළමුන් 125 දෙනකු බෝම්බකරුවන් ලෙස යොදා ගෙන ඇත.

බොකෝ හරාම් ඉස්ලාමීය ප්‍රහාරකයෝ ඔවුන්ගේ කැරැල්ල සඳහා දිගින් දිගටම ළමුන් පාවිච්චි කරති.

ළමා සොල්දාදුවන් ලෙස යොදා ගැනීම සඳහා ළමුන් පැහැර ගැනීම සහ බලහත්කාරයෙන් බඳවා ගැනීම බොකෝ හරාම් උපක්‍රමයයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මිනිස් බෝම්බ හැටියට වැඩි වශයෙන් යොදා ගන්නේ ගැහැණු දරුවන්

බොකෝ හරාම් කැරලිකරුවෝ 2014 වසරේ 'බෝර්නෝ'ප්‍රාන්තයේ කාන්තා පාසල් නේවාසිකාගාරයකට කඩා පනිමින් දෙසීයකට අධික දැරියන් කණ්ඩායමක් පැහැර ගෙන ගියහ.