දූෂණය කෙරුණු දස හැවිරිදි දැරිය දරුවෙකු බිහි කරයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2015 වසර ඇතුළත ඉන්දියාවේ ළමුන් 10,000කට අධික පිරිසක් දූෂණයට ලක්වී තිබේ

දූෂණයට ලක්වීමෙන් අනතුරුව දරු ගැබ ගබ්සා කිරීමට අධිකරණයේ අනුමැතිය නොලැබුණු දස හැවිරිදි ඉන්දීය දැරියක සිය දරුවා බිහි කළාය.

තමන් දරුවෙකු බිහි කළ මවක බව දැරියට තවමත් වැටහීමක් නැත.

ගැබ් ගෙන සිටි කාලය ඇතුළත දෙමාපියන් ඇතුලු වැඩිහිටියන් දැරියට පවසා තිබෙන්නේ කුස තුළ විශාල ගල් කැබැල්ලක් සිරවීම හේතුවෙන් අයගේ උදරය පිම්බී තිබෙන බවය.

චන්දිගාර් නුවර රෝහලකදී සිදු කරන ලද සිසේරියන් සැත්කමකින් අනතුරුව එම දැරිය කිලෝග්‍රෑම් 2.5 ක් (රාත්තල් 5.5 ක්) බරැති බිලිඳියක බිහි කර තිබේ.

සබැඳි යොමු:

මවත්, බිලිඳාත් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් බලධාරීහු බීබීසී යට පැවසූහ.

පසුගිය මාස හත ඇතුළත සිය මාමා කෙනෙකු විසින් කිහිප වතාවක්ම තමන් දූෂණය කළ බව දැරිය පවසන්නීය. චුදිත ඥාතියා දැන් අත්අඩංගුවේ පසු වේ.

ඇය ගැබ් ගෙන තිබෙන බව පසුගිය ජුලි මාසයේ අනාවරණය වූයේ උදරයේ වේදනාවක් පිළිබඳව ඇය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඉන් අනතුරුව දරු ගැබ ගබ්සා කිරීමට අවසර දෙන මෙන් දෙමාපියන කළ ඉල්ලීම චන්දිගාර් නුවර අධිකරණයක් ප්‍රතික්ෂේප කළේ ඒ වනවිට දරු ගැබ මෝරා තිබුණු බැවින් එය ගබ්සා කිරීම "ඉතා අනතුරුදායක" විය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුවය.

දෙමාපියෝ 'එපා' කියති

එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරුණු නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ද පහළ අධිකරණයේ තීන්දුව අනුමත කළේය.

බිලිඳිය සති 35 ක් ඇතුළත උපත ලබා තිබෙන බැවින්, ඉදිරි සති කිහිපය ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රඳවා තැබීමට නියමිත බව බීබීසී යේ ගීතා පාන්ඩේ දිල්ලි අගනුවර සිට වාර්තා කරයි.

තමන්ට බිලිඳා අනවශ්‍ය බවට මුල සිටම කියා සිටි දැරියගේ දෙමාපියන් බිලිඳිය ගැන කිසිදු තැකීමක් නොකළ බව ද බීබීසී වාර්තාකාරිය පවසයි.

එබැවින් ඇය හදා වඩා ගැනීම පිණිස භාර දෙන තුරු ළමාසුභසාධක කමිටුවක් විසින් ඇය රැක බලාගැනීමට නියමිතය.

ඉන්දියාවේ ළමා අපයෝජන:

  • සෑම විනාඩි 155කට වරක් වයස අවුරුදු 16ට අඩු දැරියක දූෂණය වන අතර සෑම පැය තුනකට වරක් වයස අවුරුදු දහයකට අඩු දැරියක දූෂණයට ලක්වෙයි.
  • 2015 වසර ඇතුළත ළමුන් 10,000කට අධික පිරිසක් දූෂණයට ලක්වී තිබේ.
  • ඉන්දියාවේ කාන්තාවන් මිලියන 240ක් විවාහ වී ඇත්තේ වයස අවුරුදු 18 පිරීමට පෙර ය.
  • ඉන්දීය රජය මගින් සිදු කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ ඊට සහභාගී වූ ළමුන්ගෙන් 53.22%ක් කිසියම් හෝ අපයෝජනයකට ලක්වී ඇති බවය.
  • මෙම ළමුන්ගෙන් 50%ක් පමණ අපයෝජනයට බඳුන් වී ඇත්තේ පවුලේ විශ්වාසවන්තයන් අතින් හෝ එම දරුවන් රැකබලාගත් අය අතිනි.