මෝසුල් සටන: ඉරාක හමුදාව ජයග්‍රහණය අබියස

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සාමාන්‍ය වැසියන් දහස් ගණනක් යුද්ධයට කොටුවී සිටියෝය

මෝසුල් නගරය IS කැරලිකරුවන්ගෙන් මුදවාගෙන එම ප්‍රදේශය යළි අත්පත් කරගැනීමේ අවසන් අදියරට ඉරාක හමුදාව ළඟා වෙයි.

යුද ජයග්‍රහණයේ නිල නිවේදනය ඉරාක ආණ්ඩුව විසින් නිකුත් කිරීමට නියමිතය.

මොසුල් නගරය මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව සටන ආරම්භ කළේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 17වැනිදා ය. ඊට ඇමරිකානු ගුවන් හමුදාවේ ද සහාය ලැබිණි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඉරාකයේ විශාල භූමි ප්‍රදේශයක බලය සියතට ගැනීමට පෙර මෝසුල් නගරය අත්පත් කර ගත්තේ 2014 වසරේ ජුනි මාසයේදී ය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාක හමුදා දැනටමත් ජයග්‍රහණය සමරමින් සිටිති

නමුත් ඉරාක හමුදා තම මෙහෙයුම් දැඩි කිරීමත් සමඟ පසුගිය මාස නවය ඇතුළත ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සැලකිය යුතු මට්ටමින් ඉරාක භූමිය අහිමිවෙමින් පැවතුනි.

මෝසුල් නගරයේ තැනින් තැන තවමත් IS කැරලිකරුවන්ගෙන් ප්‍රතිප්‍රහාර එල්ලවෙන නමුත් ඉරාක හමුදා දැනටමත් ජයග්‍රහණය සමරමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයේ අවශේෂ

කෙසේ නමුත් තමන් යුද්ධය ජයගත් බව ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව හෝ ඉරාක රජය තවමත් නිල වශයෙන් නිවේදනය කර නැත. එම නිවේදනය කොයි මොහොතක හෝ නිකුත් වනු ඇති බවට විශ්වාස කෙරේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රධාන බලකොටුවක් ලෙස පැවතුණු මෝසුල් නගරය දිනා ගැනීමට ඉරාක හමුදාවට මාස නවයක් ගතවිය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාක හමුදාව සටන ආරම්භ කළේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 17වැනිදා ය