ට්‍රම්ප් -පුතින් පළමු වරට මුහුණට මුහුණ මුණගැසෙයි

ඡායාරූප ශීර්ෂ වැකිය, නායකයන් දෙදෙනා පළමුවරට මුණගැසෙන්නේ අද ජූලි හත්වෙනිදායි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් මුහුණට මුහුණ මුණගැසෙන පළමු දිනය අදයි.

එම හමුව සිදු වන්නේ ජර්මනියේ හැම්බර්ග් (Hamburg) නගරයේ අද (ජූලි 07) ආරම්භ කෙරෙන G 20 සමුළුවේදීය.

රුසියාව ඇමෙරිකානු ජනාධිපතිවරණයට අතපොවා ඇති බවට එල්ල වෙමින් පවතින චෝදනා මෙන්ම සිරියාවේ සහ යුක්‍රේන් අර්බුද මුල්කර ගනිමින් දෙරට අතර සබඳතා වලට සිදුව ඇති හානිය යළි යථා තත්වයට පත්කර ගැනීම සඳහා ඔවුන්ට ඇති අවශ්‍යතාව නායකයන් දෙදෙනා විසින්ම ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

මේ අතර හැම්බර්ග් සමුළුවේ දී ලෝක දේශගුණ විපර්යාස සහ ජාත්‍යන්තර වෙළෙඳාම වැනි මාතෘකාත් මුල්තැන ගනු ඇතැයි සැලකෙයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය සහ විරෝධතාවාදීන් අතර ගැටුමක්

සමුළුව ආරම්භ කරනු ලැබීමට පෙර පටන්ම එම කරුණු මුල්කර ගනිමින් මහජන උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ විය.

"Welcome to Hell" යනුවෙන් නම් කරනු ලැබ ඇති එම විරෝධතා ව්‍යාපාර වලදී උද්ඝෝෂකයන් සහ ජර්මන් පොලිසිය අතර ඇති වූ ගැටුම්වල දී පොලිස් නිලධාරීන් 76 දෙනකු තුවාල ලද බව වාර්තා කෙරිණ.

අද සිකුරාදා තවත් විරෝධතා ව්‍යාපාර දියත් කරනු ලැබීමට ඇති ඉඩකඩ හමුවේ දැඩි ආරක්ෂක විධි විධාන යොදා ඇතිබව හැම්බර්ග් නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාවාදීන් විසින් හැම්බර්ග්හි පුළුස්සා දමන ලද මෝටර් රථයක්

උතුරු කොරියානු ප්‍රශ්නය මුල්කර ගනිමින් මෙවර G 20 සමුළුවේ දී ලෝක නායකයන් අතර බෙදීමක් ඇතිවිය හැකි බවට ද අනාවැකි පළවෙමින් ඇත.