කාබුල් නුවර තවත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රධාන විධායක අබ්දුල්ලා අබ්දුල්ලා කියා සිටියේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූවන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු සිට ඇති බවය

ඇෆ්ගනිස්තානයේ සිකුරාදා පැවති උද්ඝෝෂණයකදී මරණයට පත් ආණ්ඩුකාරවරයෙකුගේ පුතෙකුගේ අවමංගල්‍ය උත්සවය අතරතුර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හය දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව එරට බලධාරීහු පවසති.

ප්‍රහාරයට හසු වී තුවාල ලැබූ තවත් අසූ හත් දෙනෙකු රෝහල් ගත කර ඇති බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් බීබීසීයට කියා සිටියේය.

අවමංගල්‍ය සඳහා සහභාගී වූ ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන විධායක අබ්දුල්ලා අබ්දුල්ලාගේ දිවි ආරක්ෂා වී තිබේ.

ඇෆ්ගනිස්තානය තුළ ආරක්ෂාව පිරිහීම සම්බන්ධයෙන් එරට ආණ්ඩුවට විරෝධය පළ කර සිකුරාදා පැවති උද්ඝෝෂණයකට පොලිසිය කළ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මරණයට පත් විය.

ඊට දින දෙකකට පෙර කාබුල් නගරයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසුව අනූවකට වැඩි පිරිසක් මරුමුවට පත් වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිකුරාදා පැවති උද්ඝෝෂණය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩුකාරවරයෙකුගේ පුතෙකුගේ අවමංගල්‍ය උත්සවය ප්‍රහාරයේ ඉලක්කය වී තිබේ

ප්‍රධාන විධායක අබ්දුල්ලා අබ්දුල්ලා රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූවන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙකු සිට ඇති බවය.

ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවෙකුත් භාර ගෙන නොමැත.

"රටට ප්‍රහාර එල්ල වෙනවා. අපි ශක්තිමත්ව එක්සත් විය යුතුයි" යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි කියා සිටියේය.

ඇෆ්ගනිස්තානයේ තුනෙන් එකකට වැඩි ප්‍රදේශයක් ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී පවතින බව පැවසේ.

ඇමරිකානු හමුදා භටයන් 8,400 ක් ඇෆ්ගනිස්තානයේ රඳවා ඇති අතර එරට සිටින නේටෝ සාමාජික රටවලට අයත් භට සංඛ්‍යාව 5,000 කි.