දකුණු කොරියාවේ ජනපතිවරණ සටන ඇරඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සඳහා දකුණු කොරියානු වැසියෝ ඡන්දය ප්‍රකාශ කරමින් සිටිති.

මහා පරිමාණ දූෂණ අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිනිය පාක් ගුන් හෙයි ධුරයෙන් ඉවත් කෙරුණු අතර පසුව ඇය අත්අඩංගුවට ගනු ලැබිණි.

මත විමසුම්වලට අනුව ජනාධිපති අපේක්ෂක ලිබරල් මතධාරී මූන් ජේ-ඉන් ඉදිරියෙන් පසු වේ.

ජනාධිපති අපේක්ෂක මධ්‍යස්ථ මතධාරී ඇන් චොල්-සූ දෙවන ස්ථානයේ පසුවන බව මත විමසුම්වලට අනුව පෙනී යයි.

ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඡන්ද දායකයන්ගේ විශාල අවධානයක් යොමු වී ඇතත් ජනාධිපතිවරණය උතුරු කොරියාව සම්බන්ධයෙන් දකුණු කොරියානු ප්‍රතිපත්තියේ වෙනසකට ද හේතු විය හැක.

උතුරු කොරියාව

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මත විමසුම්වලට අනුව ඉදිරියෙන් පසුවන ජනාධිපති අපේක්ෂක මූන් ජේ-ඉන් සිය බිරිඳ සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දහතුන් දෙනෙක් තරග වැදී සිටිති

පැවති පාක් ගුන් හෙයි පාලනය උතුරු කොරියාව හා සබඳතා පැවැත්වීමෙන් සම්පුර්ණයෙන්ම පාහේ ඉවත් වූ නමුත් ප්යොංයැං පාලනය සමග සබඳතා ඉහළ නැංවීමට ජනාධිපති අපේක්ෂක මූන් ජේ-ඉන්ට අවශ්‍ය කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් දහතුන් දෙනෙක් තරග වැදී සිටිති.

ඡන්දය සඳහා ලියාපදිංචි වී ඇති තරුණ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තා ගත මට්ටමකට ළඟා වනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

ඡන්දය ප්‍රකාශ කිරීම එරට වේලාවෙන් රාත්‍රි 08.00 ට අවසන් වීමට නියමිතය.