ඇමරිකානු තර්ජන මැද උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

උතුරු කොරියාව තවත් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා බලධාරීහු පවසති.

මිසයිලය නිකුත් වී සුළු වේලාවකට පසු පුපුරා ගිය බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

සති දෙකක් ඇතුළත උතුරු කොරියාවෙන් වාර්තා වූ දෙවන 'අසාර්ථක' මිසයිල අත්හදා බැලීම මෙයයි.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරමින් කියා සිටියේ උතුරු කොරියාව, චීනය සහ එරට ජනාධිපතිවරයාට "ගරු සැලකිල්ලක් ප්‍රදර්ශනය කර නොමැති" බවය.

සෙනසුරාදා (අප්‍රේල් 29) අලුයම ප්යොංයැං අගනුවරට උතුරින් පිහිටි දකුණු ප්යොන්ගැන් පළාතෙන් මිසයිලය නිකුත් වී ඇති බව දකුණු කොරියාව පවසයි.

ඇමරිකාව සහ චීනය

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ "මිසයිල අත්හදා බැලීම අසාර්ථක වූ නමුදු උතුරු කොරියාව එම ක්‍රියාවෙන් චීනයේ අභිමතාර්ථයන්ට සහ එරට ගරු කටයුතු ජනාධිපතිවරයාට අගෞරව වන සේ කටයුතු කර තිබෙනවා. හරිම නරකයි" යනුවෙනි.

උතුරු කොරියාව සම්බන්ධයෙන් "ඉතාමත් දැඩි උත්සාහයක" නිරතව සිටින බව පවසමින් ජනාධිපති ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇගයීමට ලක් කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, උතුරු කොරියාවේ යුද සංදර්ශනයක්

නවතම මිසයිල අත්හදා බැලීම සිදු වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට පැය කීපයක් ගත වීමත් සමගය.

උතුරු කොරියාවට බලපෑම් කිරීම සඳහා සහායවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලොව සෙසු රටවලින් ඉල්ලා සිටි නමුත් උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් සමග එකඟතාවකට පැමිණීමට ඇමරිකාව සූදානම් බවට ද ඔහු සංඥා කර තිබේ.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසවල නිරත වීමත් සමග කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී.

මේ අතර 'අසාර්ථක' වූ මිසයිල අත්හදා බැලීම හෙළා දකිමින් ජපානය නිවේදනයක් නිකුත් කර තිබේ.