කාශ්මීරයේ ගැටුම්;බෙදුම්වාදී නායිකාවක් අත්අඩංගුවේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කාශ්මීර් කතුන් ඉන්දීය හමුදාවන්ට ගල්වලින් පහර දෙමින්

ඉන්දීය කාශ්මීරයේ බෙදුම්වාදී නායිකාවක වන ආසියා අන්ද්‍රාබි මහජන ආරක්ෂාවට අදාළ නීති යටතේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

වසර තිහක් පැරණි ඉතිහාසයක් සහිත 'විශ්වාසයේ දියණියෝ' (Daughters of the Faith) නම් සංවිධානයේ නිර්මාතෘවරිය ඇයයි.

කාශ්මීරයේ රඳවනු ලැබ සිටින ඉන්දීය සොල්දාදුවන්ට ගල්වලින් පහර දීම සඳහා ගැහැණු ළමුන් සහ වැඩිහිටි කාන්තාවන් පොළඹවාලීමේ ක්‍රියාවලිය පිටුපස සිටින බවට ආසියා අන්ද්‍රාබි චෝදනා ලබන්නීය.

මේ අතර,ඉන්දීය කාශ්මීරයේ කුප්වරා (Kupwara) ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සොල්දාදුවන් තුන් දෙනකු මරා දමා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව තමන් යටත් කරගෙන සිටින බව හඟින තරුණ විරෝධය

එම ගැටුමේ දී ප්‍රහාරකයන් දෙදෙනකු ද මරා දැමුණි.

'කුප්වරා' පිහිටා තිබෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරය බෙදා වෙන් කෙරෙන අධි ආරක්ෂක වැඩ පිළිවෙළක් සහිත දේශ සීමාව අසලයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුණු අතට හැරෙන ගැටුම්

සමාජ මාධ්‍ය ජාලයට තහංචි

සති කීපයක් ප්‍රාන්තයේ උත්සන්න වෙමින් පවතින ගැටුම්කාරී වාතාවරණය යටතේ සමාජ මාධ්‍ය ජාලයේ ෆේස් බුක් ,ට්විටර් සහ වට්සැප්(WhatsApp) පාවිච්චිය මාසයකට තහනම් කරන බව ඉන්දීය කාශ්මීර් පාලනය නිවේදනය කරයි.

මහජනයාගේ යහපත සඳහා එවැනි තහංචියක් පනවන බව ප්‍රාන්ත ආණ්ඩුව විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයක දැක්වෙයි.

ආණ්ඩු විරෝධී බලවේග සමාජ මාධ්‍ය ජාලය අනිසි ආකාරයට පාවිච්චි කරන බවත් එම නිවේදනය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Abid bhat

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාවාදීන් සහ පොලිසිය අතර ගැටුමක්

නාඳුනන තුවක්කු කරුවන් විසින් දේශපාලඥයන් තුන් දෙනකු මරා දමන ලද බව කාශ්මීර් පොලිස් වාර්තාවන්හි දැක්වෙයි.