සිරියාව: රුසියාවට බලපෑම් කිරීමට G7 හමුවක්?

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් අඟහරුවාදා මොස්කව් බලා යාමට නියමිතය

ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රුසියාවේ සිරියානු පිළිවෙත දැඩි විවේචනයට ලක් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කැරලිකරුවන් අත පවතින 'ඛාන් සෙයිඛෝන්' නගරයට විෂ රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම වැළැක්වීමට රුසියාව අපොහොසත් වූ බවය.

සිරියානු ආණ්ඩුවේ හමුදා සතු රසායනික අවි තොග විනාශ කරන බව සහතික කිරීමට රුසියාව මීට ඉහතදී එකඟ වූ බව සිහිපත් කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා, එම ප්‍රතිඥාව ඉටුකිරීමට රුසියාව අපොහොසත් වීම හේතුවෙන් ඉහත කී ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ සැලසුණු බව සඳහන් කළේය.

කෙසේ නමුත් ප්‍රහාර එල්ල කිරීම සඳහා රසායනික අවි යොදා ගත් බවට එල්ලවන චෝදනාව සිරියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

G7 හමුවක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතින්

මේ අතර ඇමරිකාව, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන G7 සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් අද (අප්‍රේල් 10) ඉතාලියේදී හමුවීමට නියමිතය.

සිරියාවේ ජනාධිපති බෂර් අල් අසාද්ට සහාය දීමේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිණිස රුසියාවට බලපෑම් කිරීම පිළිබඳ එහිදී අවධානය යොමු වනු ඇත.

එම හමුවෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් අඟහරුවාදා මොස්කව් නුවර සංචාරයක නිරතවීමට නියමිත අතර එහිදී ඔහු එරට විදේශ අමාත්‍ය සෙර්ගේයි ලවුරෝෆ් හමු වීමට නියමිතය.

2013 දී සිරියාව සතු රසායනික අවි ගබඩා විනාශ කිරීමේ එකඟත්වයකට පැමිණීම සඳහා පහසුකම් සැලැස්වීමට එරට ප්‍රධාන මිත්‍ර පාර්ශවය වශයෙන් කටයුතු කරන රුසියාවේ සහාය හිමි විය.

ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරියානු ආණ්ඩුව සතුව රසායනික අවි තිබෙන බවට ඇමරිකාව විසින් සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නොමැති බව රුසියාව පවසයි

'ඛාන් සෙයිඛෝන්' නගරයට පසුගිය බදාදා එල්ල වූ බව පැවසෙන විෂ රසායනික ප්‍රහාරයෙන් අසූ නව දෙනෙක් මරුමුවට පත් වූහ.

එයට ප්‍රතිචාර වශයෙන් එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියාවේ ගුවන් කඳවුරකට ඇමරිකාව පසුගිය සිකුරාදා මිසයිල ප්‍රහාරයක් දියත් කළේය.

එහෙත් සිරියානු ආණ්ඩුව සතුව රසායනික අවි තිබෙන බවට ඇමෙරිකාව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව රුසියාව පවසයි.