ලන්ඩන් ප්‍රහාරය : 'ඉස්ලාම් රාජ්‍ය' සංවිධානය වගකීම ගනී

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි තබා බිම හෙලූ ප්‍රහාරකයට ප්‍රතිකාර කරමින්

ලන්ඩනයට එල්ල කළ ප්‍රහාරය "ඉස්ලාම් රාජ්‍යයේ සෙබළෙකු" විසින් එල්ල කරන ලදැයි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ.

මේ අතර ලන්ඩන් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බ්‍රිතාන්‍යයේ උපත ලද අයෙකුවන අතර පොලිසිය සහ ඔත්තු සේවා දැන සිටි අයෙකු බව අගමැතිනි තෙරේසා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය.

වසර කිහිපයකට පෙර ප්‍රචණ්ඩ අන්තගාමීබව සම්බන්ධයෙන් ඔහු විමර්ශනයකට ලක්ව සිටියද මෑත කාලීන ඔත්තු ක්‍රියාකාරීත්වය තුළට ඇතුළත් නොවූවෙකි

සිව් දෙනෙකුට මරු කැඳවමින් බදාදා (මාර්තු 22) ලන්ඩනයේදී එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

කීත් පාමර් නම් පොලිස් නිලධාරියා, ලන්ඩන්හි පාසලක සේවය කළ අයිෂා ෆ්රේඩ්, 50 හැවිරිදි පුද්ගලයෙකු මෙන්ම ප්‍රහාරකයා ද මියගිය ඇය අතර වෙති.

ඡායාරූප මූලාශ්‍රය, PA/FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, මියගිය පොලිස් නිලධාරී කීත් පාමර් සහ අයිෂා ෆ්රේඩ්

තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගෙන් හත්දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තාවේ.

වෙස්ට්මින්ස්ටර් පාලම මත පදිකයින් හා ගැටෙමින් මෝටර් රියක් ධාවනය කළ පුද්ගලයා පසුව පාර්ලිමේන්තුව වෙතට දිව යමින් එහි සිටි නිරායුධ පොලිස් නිලධාරියෙකුට පිහි පහර එල්ල කළේය. එහිදී පොලිසිය විසින් ඔහුව වෙඩි තබා බිම හෙලනු ලැබීය.

මියගිය පොලිස් නිලධාරි කීත් පාමර් වෙත ප්‍රණාමය පිදූ අගමැතිනිය "ඔහු සෑම අතින්ම වීරයෙක්, ඔහු ගත් පියවර කිසිදා අමතකව යන්නේ නැහැ" යැයි පැවසුවාය.

සේවා ඇගයීම් උත්සවයකට සහභාගීවී නැවත පැමිණෙමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් එක අයෙකුද සිදුවීමේදී තුවාල ලැබූ අතර ඔහුගේ තත්වය බරපතල නොවන බව කී අගමැතිනිය, මන්ත්‍රීවරුන් හමුවේ අවධාරණය කළේ "අප ත්‍රස්තවාදය හමුවේ කිසිදා සැලෙන්නේ නැහැ" යැයි අවධාරණය කළාය.

ඡායාරූප මූලාශ්‍රය, HOC

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනයේ කටයුතු ඇරඹීමට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විනාඩියක නිහඬතාවක් පළකරමින්

ඇය වැඩිදුරටත් සඳහන් කළ පරිදි බ්‍රිතාන්‍ය ජාතිකයින් 12 දෙනෙකු රෝහල්ගත කර ඇත. තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයින් අතර ප්‍රංශ දරුවන් දෙදෙනෙක්, රුමේනියානු ජාතිකයින් දෙදෙනෙක්, දකුණු කොරියානු ජාතිකයින් සිව් දෙනෙක්, ජර්මානු ජාතිකයෙක්, අයිරිෂ් ජාතිකයෙක්, චීන ජාතිකයෙක්, ඉතාලි ජාතිකයෙක්, ඇමෙරිකානු ජාතිකයෙක් හා ග්‍රීක් ජාතිකයින් දෙදෙනෙක් ද වෙති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විපතට පත්වූවන් සිහිකරමින් මල් කළඹ තැන්පත් කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වෝහාරික නිලධාරීන් පරීක්ෂණවල යෙදෙමින්