ඉවන්කා ට්‍රම්ප් ඇමෙරිකාව කළඹයි

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් වඩාත් අවධානය දිනාගත් දරුවා ලෙස ඉවන්කා හැඳින්විය හැක

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියක වන ඉවන්කා ට්‍රම්ප්ට අයත් විලාසිතා වෙළඳ ව්‍යාපාරය මුහුණ දී ඇති වත්මන් තත්වය පිළිබඳ එරට දේශපාලන වේදිකාව තුළ උණුසුම් කතාබහක් මතුවෙමින් පවතියි.

එවැනි තත්වයක් උද්ගත වුනේ ඇමරිකාවේ සුඛෝපභෝගී විලාසිතා වෙළඳසැල් ජාලයක්වන 'නෝර්ඩ්ස්ටෝම්' වෙළඳ සමාගම ඉවන්කාගේ විලාසිතා අලෙවිය නතර කිරීමත් සමගය.

ජනාධිපති ට්‍රම්ප් පවුලේ සාමාජිකයන් සමඟ ව්‍යාපාර සිදු කරන වෙළඳසැල් වර්ජනය කරන ලෙස ඔහුගේ පාලනයට එරෙහි ක්‍රියාධරයෝ ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි.

කෙසේ නමුත් නෝර්ඩ්ස්ටෝම් වෙළඳ ජාලය පවසන්නේ අලෙවිය පහළ යෑම හේතුවෙන් ඉවන්කාගේ විලාසිතා නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමූ බවය.

සිය පියාගේ උපදේශිකාවක් වශයෙන් කටයුතු කරන ඉවන්කා සපත්තු, අත් බෑග් ඇතුළු නිමි ඇඳුම් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නීය.

සපත්තු, අත් බෑග් සහ නිමි ඇඳුම්

ඡායාරූප මූලාශ්‍රය, Nordstrom

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉවන්කාගේ වෙළඳ නිෂ්පාදන

එසේම ඇය ආභරණ මෝස්‌තර නිර්මාණය කිරීම සහ අලෙවිය ද සිදු කරන්නීය.

ඇමරිකානු ජනාධිපතිවරණය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ ජනතාව ඇමරිකානු වෙළඳපොළ තුළ ඩොලර් ට්‍රිලියන හතක් පමණ වැය කරනු ලබන්නේ යයි ඇස්තමේන්තු කෙරෙයි.

මේ අතර ඉවන්කාගේ විලාසිතා නිෂ්පාදන මිලදී ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකාරියක් සහ ධවල මන්දිරයේ උපදේශිකාවක වන කෙලියෙන් කොන්වේ ෆොක්ස් රූපවාහිනිය මගින් කළ ඉල්ලීමක් දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

ඇයගේ එම ප්‍රකාශය විවේචනයට ලක් කරමින් රිපබ්ල්කන් කොංග්‍රස් සභික ජේසන් චැෆට්ස් කියා සිටියේ, ඉවන්කාගේ විලාසිතා නිෂ්පාදනවලට රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරයක් ලබා දීම වැරදි සහගත බවය.

'නෝර්ඩ්ස්ටෝම්'වෙළඳ ජාලය සිය දියණියට "ඉතා අසාධාරණ" අයුරින් සලකා ඇතිබව ජනාධිපති ට්‍රම්ප් 'ට්විටර්' නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා කියාසිටියේය.

කෙලියෙන් කොන්වේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයන් දැඩි විවේචන එල්ලකළත් ඇයට තවදුරටත් ජනාධිපති ට්‍රම්ප්ගේ සහාය හිමිවන බව ධවල මන්දිරය ඊයේ (පෙබ.09) ප්‍රකාශ කළේය.

'දියණියට අසාධාරණයක්'

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ධවල මන්දිර උපදේශිකාවක්වන කෙලියෙන් කොන්වේ

ආචාරධර්ම සම්බන්ධයෙන් පවතින ෆෙඩරල් නීතිරීති අනුව 'ධවල මන්දිර සේවකයන් "කිසියම් නිෂ්පාදනයක්, සේවාවක් හෝ ව්‍යාපාරයක්" සම්බන්ධයෙන් සහතික ලබා දීමෙන් වැළකිය යුතුය.

ජනාධිපති ට්‍රම්ප්ගේ දරුවන් අතුරින් සමාජයේ වැඩි අවධානය දිනාගත් චරිතය ලෙස ඉවන්කා හැඳින්විය හැක.

ඇය ට්‍රම්ප්ගේ පළමු විවාහක බිරිඳ වූ නිරූපන ශිල්පිනී ඉවානාගේ එකම දියණියයි.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉවන්කා සිය ස්වාමිපුරුෂයාවන ජැරඩ් කුෂ්නර් සමග

ඉවන්කා, ට්‍රම්ප් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ධූරය ද හොබවන්නීය.

ඇයගේ ස්වාමි පුරුෂයාවන ජැරඩ් කුෂ්නර් නිව්යෝක් නුවර ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයකුගේ පුතෙකි.

නිව්යෝක් නුවර පළ කෙරෙන සතිපතා ඔබ්සර්වර් පුවත්පතේ හිමිකාරිත්වය දරන ජැරඩ් කුෂ්නර් ජනාධිපති ට්‍රම්ප්ගේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරයි.