බර්ලින්: 'අත්අඩංගුවේ පසුවන්නේ ප්‍රහාරකයා නොවිය හැකියි'

ඡායාරූප මූලාශ්‍රය, AFP

බර්ලින් අගනුවර නත්තල් වෙළඳපොළක් තුළට ට්‍රක් රථයක් පදවමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරු සැබෑ ප්‍රහාරකයා දැයි ස්ථිරව කිව නොහැකි බව ජර්මනියේ පොලිසිය පවසයි.

සඳුදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයෙන් 12 දෙනකු මරුමුවට පත්ව තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය.

"රැඳවුම් භාරයේ සිටින පුද්ගලයා ප්‍රහාරය එල්ල කළ තැනැත්තා නොවිය හැකි," බව මධ්‍යම ආණ්ඩුවේ අභිචෝදක පීටර් ෆ්‍රෑන්ක් පැවසීය.

ප්‍රහාරය එල්ල වූ ආකාරය සලකා බැලීමේදී එය ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාවක් බව දක්නට ලැබෙන බවත් ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

තමන් ප්‍රහාරයට සම්බන්ධ නැතැයි දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයා පවසන අතර, ඔහු පසුගිය වසරේ පාකිස්තානයේ සිට ජර්මනියට ලඟා වූ සංක්‍රමණිකයෙකි.

ප්‍රහාරය සිදු වූ ස්ථානයේ සිට පලා ගිය බව විශ්වාස කෙරෙන ඔහු අත්අඩංගුවට ගනු ලැබුණේ උද්‍යානයක සිටියදීය.

ප්‍රහාරයට වගකිවයුත්තන්ට 'නීතියෙන් දිය හැකි උපරිම දඬුවම්' ලබා දෙන බවට චාන්සලර් අන්ගෙලා මර්කල් ප්‍රතිඥා දුන්නාය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයට වගකිවයුත්තන්ට 'නීතියෙන් දිය හැකි උපරිම දඬුවම්' ලබා දෙන බව චාන්සලර් අන්ගෙලා මර්කල් පවසයි

බර්ලින් නුවර සියලු නත්තල් කඩ වීදි වසා දමන නමුත් අගනුවරට එපිටින් පිහිටි අනෙක් කඩ වීදි දිගටම විවෘතව තබන බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කළේය.

ප්‍රහාරකයා දේශපාලන රැකවරණ පතන්නෙකු වුවහොත් එමගින් දුෂ්කර වාතාවරණයක් මතු විය හැකි බවට චාන්සලර්වරිය අවධානය පළ කර තිබේ.