ඡන්දදායකයෝ FARC සාම ගිවිසුම ප්‍රතික්ෂේප කරති

A woman cries after knowing the results of a referendum on whether to ratify a historic peace accord to end a 52-year war between the state and the communist FARC rebels, Colombia, on 2 October 2016

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනමත විචාරණයේ ප්‍රතිඵලය පිළිබඳ කනගාටුවට පත් කොලොම්බියානු වැසියන්

FARC ගරිල්ලා සංවිධානය සහ කොලොම්බියා රජය අතර අත්සන් තැබුණු ඓතිහාසික සාම ගිවිසුම එරට ඡන්දදායකයෝ ප්‍රතික්ෂේප කරති.

කොලොම්බියාවේ ජනාධිපති හුවාන් මැනුවෙල් සන්ටෝස් සහ FARC සංවිධානයේ නායක තිමොචේන්කෝ අතර අත්සන් තැබුණු සාම ගිවිසුම අනුමත කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විණ.

සාම ගිවිසුම ප්‍රතික්ෂේප කරමින් 50.24% දෙනකු ඡන්දය ප්‍රකාශ කොට තිබේ.

ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 40% කට අඩු සංඛ්‍යාවක් ජනමත විචාරණයේ ඡන්දය ප්‍රකාශය කොට ඇත.

ජනමත විචාරණයේ ප්‍රතිඵලය පිළිගන්නා නමුත් සාම ප්‍රයත්නය අත් නොහරින බවයි ජනාධිපති හුවාන් මැනුවෙල් ජාතිය අමතමින් ප්‍රකාශ කළේ.

Farc rebels in the Yari plains during the group's conference, 22 Sep

ඡායාරූප මූලාශ්‍රය, Inpho

ඡායාරූප ශීර්ෂ වැකිය, කොලොම්බියා යුද්ධය ලෝකයේ වැඩිම කාලයක් දිග් ගැසුණ සිවිල් යුද්ධ වලින් එකකි

කෙසේ වෙතත් FARC සංවිධානය හා ආණ්ඩුව අතර පවතින සටන් විරාමය තවදුරටත් එලෙසෙම පැවතෙනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මීළඟ පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කියුබාවට ගොස් FARC නායකයන් හමු වන ලෙස ජනාධිපතිවරයා සිය නියෝජිතයන්ට නියෝග කොට තිබේ.

ජනමත විචාරණයේ ප්‍රතිඵලය පිළිබඳ කණගාටුවට පත් වන නමුත් නැවතත් සටන් කරා නොයන බවයි FARC සංවිධානයේ නායක තිමොචේන්කෝ පවසන්නේ.

අඩ සියවසක කාලයක් පුරා කොලොම්බියාවේ රජය සහ FARC ගරිල්ලා සංවිධානය අතර පැවති ගැටුම් වලින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් මරුමුවට පත් වී ඇති බව ඇස්තමේන්තු කෙරේ.

ගැටුම් හේතුවෙන් තවත් හැට ලක්ෂයකට අධික පිරිසකට උන් හිටි තැන් අහිමි වී තිබේ.