කාශ්මීර ප්‍රහාරය: පාකිස්තානයේ උතුරු ගුවන් කලාපය වසා දමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්තානයේ අභ්‍යන්තර ගුවන් ගමන් ගණනාවක්ම අවලංගු කොට තිබේ

පාකිස්තානයේ උතුරු ගුවන් කලාපය වසා දැමීමට එරට ගුවන් ගමන් බලධාරීහු පියවර ගනිති.

ඉන්දීය පාලිත කාශ්මීරයේ හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල වීමත් සමග පාකිස්තානය සහ ඉන්දියාව අතර උණුසුම තවදුරටත් උත්සන්න වෙමින් පවතියි.

පාකිස්තානයේ අභ්‍යන්තර ගුවන් ගමන් ගණනාවක්ම අවලංගු කොට තිබේ.

පාකිස්තාන පාලිත කාශ්මීරයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරට ඉරිදා එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් දහඅට දෙනකු මරුමුවට පත් විය.

ඊට පිළිතුරු වශයෙන් ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට ඉන්දියාව සුදානම් වෙමින් සිටින බවට පාකිස්තානයේ මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

'ප්‍රහාරයේ වගකීම'

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගතව ගිය සති දහයක කාලය ඇතුළත ඉන්දීය පාලිත කාශ්මීරයේ පැවති බෙදුම්වාදී උද්ඝෝෂණවලදී අනූවකට ආසන්න පිරිසක් මරුමුවට පත් වී තිබේ

සිය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයට පාකිස්තානයේ ක්‍රියාත්මක තහනම් සංවිධානයක් වන ජයිෂ්- එ-මොහම්මද් නමැති කැරලි කණ්ඩායමට අයත් පුද්ගලයන් සම්බන්ධ බව ඉන්දියාව මීට ඉහතදී පැවසීය.

ඒ සම්බන්ධයෙන් අසල්වැසි පාකිස්තානයට චෝදනා කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා කියා සිටියේ පාකිස්තානය ත්‍රස්තවාදයට අනුබල දෙන බවයි.

ඉන්දියාව එල්ල කරන චෝදනා පාකිස්තාන රජය ප්‍රතික්ෂේප කළේය.

ඉන්දීය පාලිත කාශ්මීරයේ සති ගණනාවක් පුරා පවතින ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ කෙරෙහි ඇති අවධානය වෙනතකට යොමු කිරීමේ උත්සාහයක ඉන්දියාව යෙදී සිටින බවට පාකිස්තානය චෝදනා කරයි.

ගතව ගිය සති දහයක කාලය ඇතුළත ඉන්දීය පාලිත කාශ්මීරයේ පැවති බෙදුම්වාදී උද්ඝෝෂණවලදී අනූවකට ආසන්න පිරිසක් මරුමුවට පත් වී තිබේ.

ජනතාව අතර ප්‍රචලිත තරුණ කැරලි නායකයකු ආරක්ෂක අංශ විසින් පසු ගිය ජුලි මාසයේදී මරා දමනු ලැබීමත් සමග ඊට එරෙහිව ඉන්දීය කාශ්මීරයේ උද්ඝෝෂණ ආරම්භ විය.