කාබුල් පුණ්‍යායතනයකට බෝම්බ සහ වෙඩි ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය සිදුවූ ශාර් එ නාව් ප්‍රදේශයෙන් දුම් කන්දක ඉහළ නගින අයුරු දක්නට ලැබුණි

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටා ඇති ජාත්‍යන්තර පුණ්‍යායතනයක කාර්යාලයට එල්ලවූ බෝම්බ සහ තුවක්කු ප්‍රහාරයකින් අවමවශයෙන් එක් පුද්ගලයෙකුවත් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

මෝටර්රථ බෝම්බයක් පුපුරාහැරීමෙන් පසු ශාර් එ නාව් ප්‍රදේශයේ ඇති ගොඩනැගිල්ලට කඩා වැදුණු තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකරනු ලැබ තිබේ.

පැය විසි හතරක් ඇතුළත නගරය තුළ සිදුවූ පස්වැනි ප්‍රහාරය මෙය වන අතර කිසිවෙකු විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත.

ප්‍රහාරකයන් සියලු දෙනා මරාදමනු ලැබූ බවයි වාර්තාවන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කාබුල් නුවර ප්‍රහාරය සිදුවූ ස්ථානයේ ආරක්ෂක මෙහෙයුම් දියත්කොට ඇත.

මෑතක සිට කාබුල් නගරය තුළ තාලිබාන් සන්නද්ධකරුවන් සිදුකරන ප්‍රහාරයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සඳුදා පුද්ගලයන් 24 දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් සියයකට ආසන්න පිරිසකට තුවාල සිදුකරමින් සිදුවූ බෝම්බ පිපිරවීමේ වගකීම එම සංවිධානය විසින් භාරගනුලැබ තිබුණි.

එම ප්‍රහාරයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ යුද හමුදා ජෙනරාල්වරයෙකු මරණයට පත්වූ බවයි ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසුවේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගොඩනැගිල්ලට යාබදව පිහිටි ආපනශාලාවක වීදුරු ද පුපුරා කඩා වැටී තිබුණි.

කාබුල් අගනුවර දියුණුම ව්‍යාපාර සහිත මෙන්ම ජනතාව පදිංචි නිවාස බොහෝ ඇති ප්‍රදේශයක සිදුවූ නවතම ප්‍රහාරය මෙයයි.

රජයේ ප්‍රකාශකයෙක් බීබීසීයට පැවසුවේ බෝම්බකරුවන් සහ ආරක්ෂක අංශ අතර පැය ගණනක් පුරා පැවති වෙඩි හුවමාරුවෙන් සාමාන්‍ය වැසියන් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

විදේශිකයන් දස දෙනෙකු ඇතුළු පුද්ගලයන් 42 දෙනෙකු ගැටුම පවතිද්දී බේරාගනු ලැබුණි.