සරණාගතයන් 300,000 ක් මේ වසරේ ජර්මනියට

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, අතිවිශාල සරණාගතයන් පිරිසක් පසුගිය වසරේ ජර්මනියට පැමිණි අතර ඒ අතරින් දස දහස් ගණනක් සරණාගතභාවය සඳහා ඉල්ලුම්කරනු ලැබ තිබේ.

මේ වසරේ සරණාගතයන් 300,000 ක් ජර්මනියට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව එරට සරණාගතයන් සඳහා වූ කාර්යාලයේ ප්‍රධානියා පවසයි.

ෆ්‍රෑන්ක් ජුවෙජන් වේස් පුවත්පතකට පැවසුවේ තවතවත් සරණාගතයන් පැමිණියහොත් එය ගැටලුවක් වනු ඇති බවයි.

එහෙත් අනුමාන කළ සංඛ්‍යාව පමණක් පැමිණෙනු ඇති බවට විශ්වාශයක් ඇති බවයි ඔහු පැවසුවේ.

පසුගිය වසරේ පමණක් ලක්‍ෂ දහයකට වැඩි පිරිසක් මැදපෙරදිගින්, ඇෆ්ගනිස්ථානයෙන් සහ අප්‍රිකාවෙන් ජමනියට පැමිණ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ සෙනසුරාදා බ්‍රන්ඩේන්බර්ගර් ගේට් කුළුණ මතට නැගී විරෝධය දැක්වූයේ සරණාගතයන් පැමිණීම වලක්වා අනාගතය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින්

ජර්මනියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ 390,000 ක පිරිසක් මේ වසරේ මුල් හයමසක කාලය තුළ පමණක් සරණාගතභාවය සඳහා අයදුම් කර ඇති බවයි.

එහෙත් මේ අතරින් කොපමණ සංඛ්‍යාවක් 2015 වසරේ පැමිණියවුන්දැයි පැහැදිලි නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ පිරිසගෙන් හැකි තරම් පිරිසක් රැකියාවෙළඳපලට යොමු කිරීමට කටයුතුකරන බවද ජුවෙජන් වේස් පැවසීය.

සරණාගතයන් ජර්මානු සමාජයට අනුකලනය වීමට කලක් ගතවෙනු ඇති බවත් විශාල මුදලක් වැයවෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර මේ මාසයේ සිදුකළ සමීක්ෂණයකින් හෙළිවන්නේ ජර්මානු ජාතිකයන්ගෙන් භාගයකට වැඩි පිරිසක් ඇන්ජෙලා මර්කල් ගේ සරණාගත ප්‍රතිපත්තියට විරෝධය පළ කරන බවයි.

ඒ අතරම සරණාගත විරෝධී කණ්ඩායම් වලට ලැබෙන සහයෝගයද වැඩිවෙමින් පවතින බවයි වාර්තාවන්නේ.

අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ සෙනසුරාදා බ්‍රන්ඩේන්බර්ගර් ගේට් කුළුණ මතට නැගී 'ඉස්ලාම්කරණය'ට විරෝධය දැක්වූයේ සරණාගතයන් පැමිණීම වලක්වා අනාගතය සුරක්ෂිත කරන ලෙස ඉල්ලමින්