ඉන්දියානු චන්ද්‍රිකා මෙහෙයුම් තාක්ෂණයේ තවත් පිම්මක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, චන්ද්‍රිකා රැගත් රොකට් යානය ඉන්දියාවේ 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත විය

ඉන්දියාව එකවර චන්ද්‍රිකා විස්සක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගත කිරීමට සමත් වෙයි.

ඉන්දීය අජටාකාශ ව්‍යාපෘති ඉතිහාසය තුළ මෙතරම් චන්ද්‍රිකා සංඛ්‍යාවක් අභ්‍යවකාශ ගත කළ පළමු අවස්ථාව මෙයයි.

එකසත් ජනපදය, කැනඩාව, ජර්මනිය සහ ඉන්දුනීසියාවට අයත් චන්ද්‍රිකා ද ඒ අතර වේ.

චන්ද්‍රිකා රැගත් රොකට් යානය ඉන්දියාවේ 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත විය.

ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්‍රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතු වෙමින් සිටින බවට ඉහත කී මෙහෙයුම සංඥාවක් ලබා දෙන බව නිරීක්ෂකයෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, ISRO

2014 වසරේදී එක් මෙහෙයුමක් තුළින් චන්ද්‍රිකා 37 ක් අභ්‍යවකාශ ගත කිරීමත් සමග එකවර චන්ද්‍රිකා වැඩිම සංඛ්‍යාවක් අභ්‍යවකාශ ගත කිරීමේ වාර්තාව රුසියාවට හිමි විය.

එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් ඒක වර අභ්‍යවකාශ ගත කොට ඇති වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව 29 කි.

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් චන්ද්‍රිකා විස්ස රැගත් මව් යානය ගුවන් ගත වන ආකාරය ඉන්දීය විද්‍යාඥයෝ සහ ආණ්ඩුවේ අමාත්‍යවරු අවධාරණයෙන් යුතුව නිරීක්ෂණය කළහ.