ඉන්දියාවේ හින්දු කණ්ඩායම් ට්‍රම්ප් වෙනුවෙන් පූජා පවත්වති

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දිල්ලියේ දී ට්‍රම්ප්ට ජය පතා පූජා පවත්වන 'හින්දු සේනා' සාමාජිකයන් පිරිසක්

ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණයේ අපේක්ෂත්වය ලබා ගැනීම සඳහා තරඟ වැදී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහය පළ කරන දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් ඇතුළු අසාමාන්‍ය රසික රසිකාවියන් පිරිසක් ඉන්දියාවේ ද සිටින බව වාර්තා වෙයි.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට ජය පතා දිල්ලි නුවර 'හින්දු සේනා' කණ්ඩායම විසින් පුද පුජා පැවැත්වූහ.

එතරම් ප්‍රසිද්ධියක් නොඋසුලන එම සංවිධානය පවසන්නේ 'මනුෂ්‍යත්වයට එරෙහිව දියත් වී ඇති ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ඇති එකම බලාපොරොත්තුව' ඔහු බවයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප්ට ජය පතා ගිනි දල්වා පූජා පවත්වන හින්දු සේනා සාමාජිකයෙක්

මුස්ලිම් පිරිස් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කළ යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් පසුගිය කාලය පුරා ඇමරිකාවේ මෙන්ම ඉන් පිටතත් දැඩි විවේචනයට ලක් වී තිබේ.

බදාදා හින්දු සේනා සංවිධානයට අයත් පිරිසක් දිල්ලියේ උද්‍යානයකට රැස්ව ට්‍රම්ප්ට සහය පළ කරන බව සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ගිනි දල්වා පුද පූජා පැවැත්වූහ.

සරල හින්දු දේව පූජාවක දී හින්දු දේව ප්‍රතිමා වටකොට තබා ධාන්‍ය, කිරි සහ විවිධ ශාක පත්‍ර ගින්නට දමමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ට ජය පතා ස්තෝත්‍ර ගයනා කළ බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් ගේ ඡායාරූපයක නළලේ රතුපැහැති තිලකයක් තබා හින්දු සේනා සාමාජිකයෝ ඔහුට ආශීර්වාද කළහ

හින්දු සේනා සංවිධානයේ ආරම්භක නායකයා වන විෂ්ණු ගුප්ත මාධ්‍යය වෙත පැවසුවේ 'මනුෂ්‍යවර්ගයා බේරා ගත හැක්කේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට පමණක්' බවයි

ඔහු වැඩි දුරටත් 'ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතට පවසා තිබුණේ තම හෘදයංගම සහයෝගය ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පළ කිරීම සඳහා උත්සාන කිහිපයක් සංවිධානය කර ඇති බවයි.

ජාතික වාදී හින්දු සේනා කණ්ඩායම මින් පෙර දේශපාලන පක්ෂ කාර්යාලයකට පහර දීම සහ ගවමස් අනුභවය තහනම් කිරීමට එරෙහිවූ නීතිඥවරුන්ට හිරිහැර කිරීම වැනි දේට චෝදනා ලැබූ බවයි වාර්තා වන්නේ.