ඉරණතිවු: "අපේ දූපත අපට දෙන්න"

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරණතිව් කරා යළි පැමිණි ජනතාව සිය භූමියේ අයිතිය ඉල්ලා සිටිමින්

යුද සමයේ ඉරණතිවු දූපතෙන් ඉවත්ව ගිය ධීවර ජනතාව එහි සිය ඉඩම් අයිතිය ඉල්ලා සිටිමින් සිය පාරම්පරික ජනාවාසය කරා යළි ලඟා වූහ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් දූපත හැර දමා 1992 වසරේ ඉවත්ව ගිය ජනතාව, දැනට ඔවුන් ජීවත් වෙන 'ඉරණමාතා'හි සිදු කරන ලද කිතුනු පුද පූජා වලින් අනතුරුව බෝට්ටුවලින් යළි ඉරණතිවු කරා ලඟාවෙමින් එහි පදිංචිය ආරම්භ කළහ.

තම මුතුන්මිත්තන්ගේ පටන් සිය ප්‍රජාව වසර දෙසීයක පමණ කාලයක් එම දූපතේ පාරම්පරිකව වාසය කරන බව එම ධීවරයෝ පවසති.

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝට්ටුවලින් යළි දූපත කරා ගමන් ගත් ආකාරය

1992 වසරේ දී දූපත අහිමි වූ ජනතාව, යුද්ධය නිමවීමෙන් අනතුරුව, 2009 වසරේ පටන් එහි යළි පදිංචිය සඳහා අවසර ඉල්ලා සිටිමින් සාමකාමී උද්ඝෝෂණ වල නිරතව සිටියහ.

ඒ සඳහා ඔවුන් විසින් 2017 මැයි මාසයේ පළමුවෙනිදා ආරම්භ කළ සත්‍යග්‍රහයකට ලබන මැයි පළමුවෙනිදාට වසරක් සම්පූර්ණ වෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර විසි හයකට පසු යළි දූපතට පැමිණ සිටින කණ්ඩායමක්

ධීවර කර්මාන්තයෙන් යැපෙන දමිළ කිතුනුවන් වන ඉරණතිවු පාරම්පරික උරුමකරුවෝ දූපතේ සිය ඉඩම් අයිතිය තහවුරු කෙරෙන ඔප්පු තප්පු තමන් සතු බව කියා සිටිති.

පිහිටීම අනුව වර්ග සැතපුම් හයක් පමණ වන භූමිය ආවරණය කෙරෙන දූපත 'මහ ඉරණතිවු' සහ 'කුඩා ඉරණතිවු' යනුවෙන් දූපත් දෙකකින් සමන්විත වෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, තවමත් නිරුපද්‍රිත දේවස්ථානය

එහි ප්‍රධාන දූපතේ පමණක් ඉඩම් අයිතිය සහිත පවුල් 143 ක්ද කුඩා දූපතේ එවැනි පවුල් තිස් පහක් ද ඊට අමතරව මෑතදී එහි පදිංචියට ගිය තවත් පවුල් කීපයක් ද 1992 ට පෙර ජීවත් වූ බව දූපතේ යළි පදිංචියට ගිය ජනතාව පවසති.

දූපත් දෙකේ පදිංචි පවුල් සංඛ්‍යාවේ එකතුව දෙසීය ඉක්මවයි.

තරමක් ගරා වැටුණ පාසලක්, තැපැල් කාර්යාලයක් සහ කතෝලික පල්ලියක් ඇතුළත් එම ප්‍රධාන දූපත අංග සම්පූර්ණ ජනාවාසයක ලක්ෂණ පෙන්නුම් කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ දූපත අපට දෙන්න"

1896 වසරේ යටත් විජිත පාලන සමයේ විශේෂ පාෂාණයකින් ඉදි කරන ලද ඓතිහාසික කුළුණක් ද එහි දක්නට ලැබෙයි.

ඉරණතිවු ධීවර ප්‍රජාව එහි ගොස් යළි පදිංචි වීම පිළිබඳ ප්‍රතිචාරය දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාර දිසානායකගෙන් විමසීමක් කළ විට අදාළ තොරතුරු පිළිබඳව සොයා බලා බීබීසී සිංහල අංශය දැනුවත් කරන බව ඔහු කියා සිටියේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, පැරණි ගේ දොර සොයා යමින්

සබැඳි පුවත්;