කොටි නායක සැමරුම් තහනම්;පොලිසිය සීරුවෙන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යතුරු පැදිවලින් පැමිණ පහර දී පළා යන 'ආවා' නම් කල්ලියක් පිළිබඳව කලක පටන් තොරතුරු ලැබෙමින් ඇත.

තියුණු අසිපත් වැනි ආයුධවලින් සන්නද්ධ කණ්ඩායම් විසින් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකදී සිදු කරන ලද පහර දීම් අටක් පසුගිය දින දෙක ඇතුළත වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලීසය පවසයි.

එම පහරදීම් වලින් පුද්ගලයන් දොළොස් දෙනකු තුවාල ලබා ඇති බවත් පොලිසිය දැනුම් දෙයි.

උතුරු පළාතේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි වාර්තා වී ඇති 'ආවා' නමැති පාතාල කල්ලියක් එකී පහරදීම් පිටුපස සිටින්නේ යයි සැක කරන බව නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක කියා සිටියේය.

එම පාතාල කල්ලිය මර්දනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ආවා' කල්ලිය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තවමත් නිශ්චිතව හඳුනා ගෙන නැත.

"උතුරු පලාතේ ක්‍රියාත්මක 'ආවා' නැමති කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තා වුණා. ඒ පිළිබඳව විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වුණා. නමුත් මම කියන්න කැමතියි මේ 'ආවා' කල්ලියට යළි කිසිදු අයුරකින් හිස ඔසවන්න ඉඩ නොතබන බව " එම ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා අවධාරණය කළේය.

පසුගිය දින දෙක ඇතුළත පහර දීම් අටක් වාර්තා වූ අතර ඒවාට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් හය දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කරයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක අනාවරණය කරන පරිදි යාපනය පොලිස් කොට්ඨාසයේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරනු ලැබ ඇත.

තවත් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කෙරෙමින් පවතින විශේෂ විමර්ශන සඳහා එවැනි පියවරක් ගන්නා ලද බව අදාළ බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා පොලිසියේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව ඇමතිවරයා පවසයි

LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන ලබන නොවැම්බර් 26 වෙනි දින කොටි නායකයන් සැමරීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කිරීම වැළැක්වීමත් පොලිසියේ නිවාඩු අවලංගු කිරීමට හේතු වී ඇති බව උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්;