ඉන්දියාවෙන් අසල්වැසි රටවලට "මිල කළ නොහැකි තෑග්ගක්"

ඡායාරූප මූලාශ්‍රය, ISRO

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ 'දකුණු ආසියානු චන්ද්‍රිකාව'

කලාපයේ බලවතුන් ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාව සහ චීනය විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දිනෙන් දින ඉදිරියට ඇදෙමින් සිටිති.

චීනයේ නිෂ්පාදිත පළමු විශාලතම මගී ගුවන් යානය සිය මංගල ගමන සාර්ථකව නිම කිරීමට අද (මැයි 05) සමත් විය.

මේ අතර දකුණු ආසියාතික රටවල් සඳහා ඉන්දියාව නව විදුලි සංදේශ චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශ ගත කළේය.

'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ චන්ද්‍රිකාවේ ඉලක්කය වී ඇත්තේ කලාපීය රටවල විදුලි සංදේශ කටයුතු සහ විකාශන සේවා ඉහළ නැංවීමය.

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ අසල්වැසියන් වෙත පිදෙන "මිල කළ නොහැකි තෑග්ගක්"

ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන දකුණු ආසියානු රටවල් ඉන්දියාවේ සම්පූර්ණ වියදමින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවෙන් වාසි ලබනු ඇත.

කෙසේ නමුත් පාකිස්තානය අදාළ ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබේ.

විශ්ලේෂකයන් විසින් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීම හඳුන්වනු ලැබුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ "අභ්‍යවකාශ රාජ්‍යතාන්ත්‍රිකභාවය" ලෙසිනි.

ඉන්දියාවේ අසල්වැසියන් වෙත පිදෙන "මිල කළ නොහැකි තෑග්ගක්" ලෙස අගමැති මෝදි එය විග්‍රහ කළේය.

හදිසි ආපදාවකදී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කලාපීය රටවල හදිසි ස්වාභාවික ආපදා තත්වයකදී අතිශය වැදගත්වන සන්නිවේදන සබඳතා සැපයීමේ හැකියාව ද 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුය

'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුව සම්ප්‍රේශ ප්‍රතිචාරක (transponders) 12 ක් ඇති අතර සිය විදුලි සංදේශ සේවා වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට එම සම්ප්‍රේශ ප්‍රතිචාරක භාවිත කළ හැක.

එක් රටකට අවම වශයෙන් සම්ප්‍රේශ ප්‍රතිචාරක එකකට පිවිසීමේ හැකියාව ලැබෙන නමුත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අදාළ රටවල් විසින් වැඩිදියුණු කළ යුතුව තිබේ.

කලාපීය රටවල හදිසි ස්වාභාවික ආපදා තත්වයකදී අතිශය වැදගත්වන සන්නිවේදන සබඳතා සැපයීමේ හැකියාව ද 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' සතුය.

ඉන්දීය ආණ්ඩුවට අනුව චන්ද්‍රිකාව මගින් අසල්වැසි රටවල් වෙත රූපවාහිනී, අධ්‍යාපන, කාලගුණ සහ හදිසි ආපදා කළමනාකරණය වැනි විදුලි සංදේශ හා විකාශන ක්ෂේත්‍රවලට අයත් සේවා සැපයෙනු ඇත.