'අලි නින්ද' ගැන මේ කරුණු දැන සිටියාද?

ඡායාරූප මූලාශ්‍රය, Wits University

වන අලියෙකු හෝ හීලෑ අලියෙකු නිදා සිටිනවා දැකගත හැක්කේ ඉතාමත් විරල වශයෙනි.

ගසකට වාරු වී නිදන වන අලි කලාතුරකින් ඇස ගැටෙන අතර හීලෑ අලි ඇතුන් බොහෝ විට නිදා ගනු ලබන්නේ දිය නෑම සඳහා රැගෙන යනු ලබන ගංතොටුපලකදීය. නැතිනම් රාත්‍රී කාලයේදීය.

මේ අතර සියලුම ක්ෂීරපායි සතුන් අතරින් කෙටිම කාලයක් නිදාගනු ලබන්නේ අප්‍රිකානු අලි බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

අලි ඇතුන්ගේ ස්වාභාවික නිදන රටාව පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමේ අරමුණින් විද්‍යාඥයන් කණ්ඩායමක් බොට්ස්වානා රාජ්‍යයේ වන අලි දෙදෙනෙකුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කළහ.

සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 -6 අතර කාලයක් නිදති.

නමුත් ස්වභාවික වටපිටාවක් තුළ වෙසෙන අලි ඇතුන්ගේ විවේක කාලය පැය දෙකකට සීමා වේ.

එවැනි පරිසරයක වෙසෙන අලි ඇතුන් ප්‍රධාන වශයෙන් සිය විවේකය ගත කරන්නේ රාත්‍රි කාලයේදීය.

අඩ නින්ද

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 -6 අතර කාලයක් නිදති

අධ්‍යයනය සඳහා යොදා ගනු ලැබූ සතුන් දෙදෙනාම මාතෘ මූලික රංචුවේ ජ්‍යෙෂ්ඨ ඇතින්නියන්ය.

ඇතැම් අවස්ථාවල ඇතින්නියන් දෙදෙනා දින කිහිපයක් නිදිවර්ජිතව ගතකරති.

සිංහයන්ගෙන් හෝ දඩයක්කරුවන්ගෙන් බේරී පළා යෑම සඳහා එවැනි අවස්ථාවල ඔවුන් බොහෝ දුර ගමන්වල යෙදෙන බව විද්‍යාඥයෝ පවසති.

දින තුනකට හෝ හතරකට වරක් බිම වැතිර සිටින අවස්ථාවල අලි අඩ නින්දේ පසුවෙති.

අධ්‍යයන කණ්ඩායමේ මහාචාර්ය පෝල් මැන්ගර් කියා සිටියේ අදාළ සොයා ගැනීම්වලට අනුව අලින්ට ම අනන්‍ය වූ නිදන රටාවක් තිබෙන බවය.

"ක්ෂීරපායි සතුන් අතරින් ඉතාමත් කෙටි නින්දක් ලබා ගන්නේ අලි ඇතුන්. ඔවුන්ගේ විශාල ශරීර ප්‍රමාණය සහ නින්ද අතර යම් සම්බන්ධයක් ඇති බව පෙනෙන්න තිබෙනවා" යනුවෙන් මහාචාර්යවරයා කියා සිටියේය.

අබිරහසක්

ඡායාරූප මූලාශ්‍රය, Wits University

ඡායාරූප ශීර්ෂ වැකිය, අලි ඇතුන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා GPS කරපටි භාවිත කෙරේ.

සාමාන්‍යයෙන් ශරීරය ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායි සතුන්ට වඩා එම විශේෂයේ කුඩා සතුන්ගේ නිදන කාලය වැඩිය.

ඇමරිකාවේ නිවර්තන කලාප තුළ ගස් මත වෙසෙන Sloth සත්ව විශේෂය දිනකට පැය 14 ක් පමණ නිදන අතර මනුෂ්‍යයෝ පැය 8 ක් පමණ නින්ද සඳහා වැය කරති.

කෙටි නින්දක් ලබමින් අලි ඇතුන් ජීවිතය රැක ගන්නේ කෙසේදැයි යන්න තවමත් අබිරහසකි.

සත්ව ලෝකය තුළ ක්ෂීරපායි, පක්ෂි සහ කටුසු විශේෂ මෙන්ම උරඟ ගණයට අයත් කටුසු විශේෂ ද විවේකය සඳහා අඩ නින්දේ පසුවන ආකාරය දැකගත හැක.

ක්ෂීරපායි සතුන් බොහොමයක් සිය විවේකය ගතකරන්නේ අඩ නින්දේදීය.

වැඩි වශයෙන් අලි ඇතුන් යොදාගෙන ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට විද්‍යාඥ කණ්ඩායම සැලසුම් කරමින් සිටී.