කොළඹ පාසලක් කාන්තාවන්ට ඇඳුම් නීතියක් පැනවූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Smriti Daniel

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම දැන්වීම පිලිබඳ පින්තුරය සමාජ මාධ්‍ය ජල වල දැඩි අවධානයට ලක්විය

කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් සමාජ මාධ්‍ය ජාලය තුළ උණුසුම් විවාදයකට තුඩු දී ඇත.

පාසලට ඇතුළුවන කාන්තාවන් ඇඳිය යුතු සහ ඇඳීම සුදුසු නොවන ඇඳුම් මෝස්තර පිළිබඳ සටහනකුයි එම පෝස්ටරයේ දැක්වෙන්නේ.

එහි දැක්වෙන පරිදි සාම්ප්‍රදායික සාරියෙන් හෝ එතරම් නවීන නොවන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට සාය සහ අත් නොවැසෙන ආකාරයේ ඕනෑම ඇඳුමක් පාසලය 'යෝග්‍ය නොවන' ඇඳුම් ආයිත්තම්.

ඡායාරූප ශීර්ෂ වැකිය, බැලූ බැල්මට මෙම පෝස්ටරය මෝස්තර සඟරාවක පිටුවක් ලෙසයි පෙනෙන්නේ

කාන්තාවන්ට එවැනි ඇඳුම් නීතියක් පැන වූ බව ශාන්ත ජෝසප් විදුහලේ පරිපාලන නිලධාරිනියක් සනාථ කළාය.

එහෙත් එය එම විදුහලට පමණක් අදාළ නියෝගයක් නොවන බවයි, බීබීසී යේ අයේෂා පෙරේරා කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ.

"ලංකාවේ විතරක් නෙවෙයි හැමතැනම අදහසක් තියනවා පිරිමි ඇයට ඒ ගොල්ලන්ගේ 'හෝමෝනස් කන්ට්‍රෝල්' කරගන්න බැහැ කියලා. එහෙම කියන එක පිරිමි ළමයින්ටත් හොඳ නැහැ. ඒ කියන්නෙ ඒ ගොල්ලො සත්තු වගේ හැසිරෙනවා කියල. ඒක හරි කියල මම හිතන්නෙ නැහැ" යනුවෙනුයි අයේෂා පෙරේරා පැවසුවේ.

ඡායාරූප මූලාශ්‍රය, Press Eye

ඡායාරූප ශීර්ෂ වැකිය, සිරුරේ උඩ කොටසේ වැඩි ප්‍රමාණයක් අනාවරණය වන අයුරින් සාරිය ඇඳීමයි මතභේදයට ලක්වී ඇත්තේ

තමා පාසැල් කිහිපයකටම මේ සම්බන්ධව කතා කළ බව කී අයේෂා පැවසුවේ මෙම දැන්වීම මගින් පාසැලේ ළමයින්ට වැරදි පණිවුඩයක් රැගෙන යන බවයි.

"දැන් අනිත් රටවල් වල මිනිස්සු ඕන එකක් ඇඳගෙන යනව ළමයිව ගන්න, ඒ තැන්වල එහෙම ප්‍රශ්න නැහැ. මං හිතන්නෙ නැහැ ගැහැණුන්ට විනීතව අඳින්න කියල කියන්න ඕන කියල. එකෙන් අදහසක් එනව එක විදියකට අඳින කාන්තාවන්ට විතරයි 'රෙස්පෙක්ට්' කරන්න ඕන කියල. දැන් බලන්න ගැහැණු කෙනෙක් දුෂණයට ලක්වුනොත් මිනිස්සු ඉස්සරවෙලාම අහන්නේ එයා මොනවද ඇඳගෙන හිටියෙ කියල. අපි ඉන්නෙ 21 වැනි සියවසේ. මෙහෙම දැන්වීමක් දාන කොට අපි ළමයින්ට කියන්නෙ මෙහෙම ඇන්දේ නැතිනම් ඒ කාන්තාවන්ට ගෞරව කරන්න එපා කියල ඔයගොල්ලන්ට කැමති දෙයක් එයාලට කරන්න, කියන පණිවුඩය" යනුවෙනුයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.

සිය විදුහලේ එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත් සනාථ කළේය.

මේ නීතිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බොහෝ දෙනා කෝපය පළ කර තිබිණ.