ශ්‍රී ලංකාව ලෝකයේ සතුට අවම රටවල් අතරට: ගැම්බියාව, මැඩගස්කර්, ටෝගෝ ශ්‍රී ලංකාවට ඉදිරියෙන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ලෝකයේ සතුට අවම ජනතාවක් වෙසෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබේ.

ඒ, ලෝක සතුටු දර්ශකයේ (World Happiness Report) 134 වන ස්ථානයට පත්වෙමිනි.

ලෝකයේ එක් එක් රටවල වෙසෙන ජනතාව සතුටින් සිටීම වර්ගීකරණයට ලක් කරන ලෝක සතුටු දර්ශකයේ පසුගිය වසරට වඩා එක් අගයකින් මෙවර ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.

එම දර්ශකයට අනුව රටවල් 147ක් අතරින් 2025 වසරේදී ශ්‍රී ලංකාවට 134 වන ස්ථානය හිමිව ඇති අතර, 2024 වසරේ මෙරටට හිමිව තිබුණේ, 133 වන ස්ථානය යි.

ගැම්බියාව, මැඩගස්කර්, ටෝගෝ රාජ්‍යයන් පවා ශ්‍රී ලංකාවට ඉදිරියෙන්

මෙහි විශේෂත්වය වන්නේ, අර්බුද සහිත රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවීම ය.

ඒ අනුව, ගැම්බියාව (128), මියන්මාරය (129), ලයිබීරියාව (130), ටෝගෝ (131), මැඩගස්කර් (132) සහ සැම්බියාව (133) යන රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටින්නේ, රටවල් 13ක් පමණි.

ඉතියෝපියාව (135), කොමරෝස් (136), එස්වාටිනි (137), ටැන්සානියාව (138), ඊජිප්තුව (139), කොංගෝ (140), ලෙබනනය (141), යේමනය (142), බොට්ස්වානා (143), සිම්බාබ්වේ (144), මලාවි (145), සියෙරා ලියොන් (146) සහ ඇෆ්ඝනිස්ථානය (147) එම රටවල් වේ.

කලාපයේ අනෙකුත් රටවලට හිමි ස්ථාන මොනවා ද?

එම දර්ශකයට අනුව අසල්වැසි ඉන්දියාව 116 වන ස්ථානයට පත්ව ඇති අතර, එය 2024 වසරේ වාර්තා කළ 118 වන ස්ථානයට වඩා අගයයන් දෙකක ඉහළ යාමකි.

2024 වසරේදී ලෝක සතුටු දර්ශකයේ 109 වන ස්ථානය හිමිව තිබූ පකිස්ථානය මෙවර එහි 104 වන ස්ථානයට පැමිණ තිබේ.

නේපාලය 2025 වසරේදී 99 වන ස්ථානයට පත්ව ඇති අතර එය 2024 වසරේදී හිමිව තිබූ 92 වන ස්ථානයේ සිට පහත වැටීමකි.

පසුගිය වසරේ අරගලයක් පැවති බංගලාදේශය 2024 වසරේ හිමි කරගෙන තිබූ 134 වන ස්ථානයේ සිට 2025 වසර වන විට 127 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබීම විශේෂත්වයකි.

ලෝකයේ වැඩියෙන් ම සතුටින් සිටින රට කුමක් ද?

ලෝක සතුටු දර්ශකයේ පළමු වන ස්ථානය මෙවරත් ෆින්ලන්තය හිමි කරගෙන ඇති අතර ඒ අනුව ලෝකයේ සතුටින් ම සිටින රට ලෙස ෆින්ලන්තය පළමු ස්ථානය හිමි කර ගත් 9 වන අවස්ථාව මෙය බව දර්ශකය පිරික්සීමේදී පෙනී යයි.

2024 වසරේ 3 වන ස්ථානයට හිමිකම් කී අයිස්ලන්තය මෙවර 2 වන ස්ථානය හිමි කර ගැනීමට සමත්ව ඇත.

සතුටු දර්ශකයේ 2025 වසරේ 3 වන ස්ථානය හිමි කර ගත් ඩෙන්මාර්කය 2024 වසරේදී පසුවූයේ 2 වන ස්ථානයේ ය.

මීට පෙර ලංකාවට හිමිව තිබූ ස්ථාන

පසුගිය දශකය දෙස සලකා බැලීමේදී ශ්‍රී ලංකාව දැනට වාර්තා කර ඇති ඉහළ ම ස්ථානය වන 117 වන ස්ථානය වාර්තා කර ඇත්තේ, 2015 වසරේ දී බව එම දර්ශකයේ දැක්වේ.

2016 වසරේදී 120 වන ස්ථානයත්, 2017 වසරේදී 116 වන ස්ථානය මෙන්ම වසර 2018 දී යළිත් 120 වන ස්ථානයත් මෙරටට හිමිව ඇත.

ඉන් ස්ථානය දහයක්ම පහත වැටී 2019 වසරේ දී 130 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර 2020 වසරේ 129 වන ස්ථානය සහ 2021 වසරේදී 127 ස්ථානය හිමිකරගෙන ඇත.

අර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය මෙන් ම ගෝල්ෆේස් අරගලය පැවති 2022 වසරේදී 112 වන ස්ථානය හිමිව තිබී අතර, 2023 වසර වන විට එය 128 දක්වා පහත වැටී ඇතැයි ලෝක සතුටු දර්ශකයේ දැක්වේ.

ලෝක සතුටු වාර්තාව යනු කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගෝලීය මත විමසුමක දත්ත මත පදනම්ව ඇති ලෝක සතුටු වාර්තාව යනු, ගෝලීය මට්ටමින් සතුට පිළිබඳව සොයා බලන ලොව ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන අතර, එය 2012 වසරේ සිට වාර්ෂිකව නිකුත් කෙරේ.

ආර්ථික විද්‍යාව, මනෝවිද්‍යාව සහ තවත් ක්ෂේත්‍ර ගණනාවක විශේෂඥයින් මේ වාර්තාවේ 2026 ප්‍රකාශනයට දායක වන අතර, එය, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සතුටු දිනය වෙනුවෙන් 2026 මාර්තු 20 වන දින නිකුත් කෙරිණි.

ලෝක සතුටු වාර්තාවේ කර්තෘවරුන් සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ වර්තමානයේ පවතින සාකච්ඡාවට දැඩි අවධානය යොමු කර ඇති අතර, එහිදී, ළමුන් සහ තරුණයින් අතර සමාජ මාධ්‍ය භාවිතයට ද අවධානය යොමු කර ඇත.

"ජාතික, කලාපීය සහ ගෝලීය විශේෂඥයින් රැසකගේ දායකත්වයත් ඇතිව, රටවල් සහ ගෝලීය කලාප තුළ සහ ඒවා අතර සතුට පිළිබඳ ප්‍රවණතාවල ජාත්‍යන්තර මට්ටමේ වෙනස්කම් සමග සමාජ මාධ්‍ය භාවිතයේ ප්‍රමාණය සහ ස්වභාවය කෙතරම් සමීපව ගැලපෙනවා ද යන්න සොයා බැලීමට අපි දැනට පවතින ජාත්‍යන්තර මට්ටමේ දත්ත භාවිතා කරනවා," බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු සහ ලෝක සතුටු වාර්තාවේ ආරම්භක කර්තෘවරයෙකු වන ජෝන් එෆ්. හෙලිවෙල් පවසයි.

වාර්තාවට දායක වන විශේෂඥයින් සමාජ මාධ්‍ය සම්බන්ධ මාතෘකා කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කර ඇති අතර ඒවා පහත පරිදි වේ,

  • සතුට සහ සමාජ මාධ්‍ය භාවිතය අතර ගෝලීය සම්බන්ධතා ඇගයීම
  • සමාජ මාධ්‍ය පුද්ගල මට්ටමින් නව යොවුන් වියේ අයට කරන හානිය සහ ජනගහන මට්ටමින් සිදුවන වෙනස්කම් පැහැදිලි කිරීමට තරම් විශාල පරිමාණයකින් එය සිදු වීම.
  • විද්‍යාත්මක සාක්ෂි ඵලදායී ලෙස සෞඛ්‍ය සහ තාක්ෂණ ප්‍රතිපත්ති ඇති කිරීම වෙනුවෙන් භාවිත කිරීම සඳහා සැලකිල්ලෙන් කටයුතු කිරීම.
  • නව යොවුන් වියේ ජීවිත තෘප්තිය සහ සමාජ මාධ්‍ය භාවිතය: ජාත්‍යන්තර දත්ත කට්ටලයක් තුළ ස්ත්‍රී-පුරුෂ වෙනස්කම්.
  • ගැටලුසහගත සමාජ මාධ්‍ය භාවිතය සහ නව යොවුන් වියේ පුද්ගලයින් සම්බන්ධ යහපැවැත්ම: රටවල් 40ක සමාජ-ආර්ථික තත්ත්වයේ භූමිකාව.
  • එක් එක් පුද්ගලයාගේ යහපැවැත්මට සමාජ මාධ්‍ය භාවිතයේ බලපෑම: විශ්වාසය, සමාජ සම්බන්ධතා සහ චිත්තවේගීය බැඳීම්වල භූමිකාව.
  • සමාජ මාධ්‍ය සහ මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ යහපැවැත්ම.