රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට බලපෑ කරුණු 3ක් CIDය අධිකරණයට දැනුම් දෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී  (විශ්‍රාමික) මේජර් ජෙනරාල්  සුරේෂ් සලේ

ඡායාරූප මූලාශ්‍රය, Google

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් කරුණු තුනක් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (මාර්තු 11 වැනිදා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

පාස්කු ප්‍රහාරයට පෙර වවුනතිවු ප්‍රදේශයේ සිදුවූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණි.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනෙකු මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.

පාස්කු ප්‍රහාර සිද්ධියට සෘජුව සම්බන්ධ බවට අනාවරණය වී තිබේද ?

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර සුරේෂ සලේ පාස්කු ප්‍රහාර සිද්ධියට කෙලින්ම සම්බන්ධ බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේදැයි ප්‍රශ්න කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනට තහවුරු කර තිබෙන කරුණු තුනක් පදනම් කරගෙන සුරේෂ් සලේ සැකකරූ වශයෙන් නම් කිරීමට සාධාරණ නීතිමය පදනමක් අනාවරණය වී තිබෙන බව පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වූ කරුණු 3 මෙසේය.

1. මෙම ත්‍රස්ත ප්‍රහාරයට පෙර යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු දීර්ඝ කාලීන තොරතුරුකරුවෙකු වශයෙන් තබාගෙන ගොස් ඇති බවත් සැකකාර සුරේෂ් සලේ එම තොරතුරුකරු යොදාගෙන මුස්ලිම් අන්තවාදීන්ට කටුවාපිටිය දේවස්ථානය පෙන්වා තිබෙන බවත් ඔවුහූ පැවසූහ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2. එමෙන්ම යුද හමුදා බුද්ධි අංශය පානදුර ප්‍රදේශයේ යොදවා සිටි තවත් තොරතුරුකරුවෙකු පාස්කු ඉරිදා එල්ල කෙරුණු ප්‍රහාරය පිළිබඳව ඊට පෙර දැනුම් දී තිබූ බවත් එහෙත් ඒ පිළිබඳව යුද හමුදා බුද්ධි අංශය නිසි සොයා බැලීමක් නොකළ බව කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රහාරයෙන් පසුව මෙම ඔත්තුකරු විසින් ප්‍රහාරය පිටුපස යුද හමුදාවේ වසර විස්සක්වත් පළපුරුද්දක් තිබෙන ඉහළ නිලධාරියෙකු සිටිය හැකි බවට ප්‍රකාශ කර තිබෙන බවත් කියා සිටියේය.

ඉන් පසුව යුද හමුදා බුද්ධි අංශය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ත්‍රස්ත මර්දන කාර්යාංශයට භාරදී ඇති අතර අත්අඩංගුවට ගැනීමට පෙරත් ඉන් පසුවත් එම ඔත්තුකරුගේ නිවස නඩත්තු කර තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශයෙන් බවත් ඉන් අනතුරුව ඔහු නීතිපති උපදෙස් මත නිදහස් කර තිබෙන බවත් එම නිලධාරීහූ පැවසූහ.

මෙසේ ඔත්තුකරු නිදහස් වීමෙන් පසුව සැකකාර සුරේෂ් සලේ ඔහුව හෝටලයකට කැඳවා ස්තූති කර තිබෙන බවත් මේ සියලු කාරණා පිළිබඳව අදාළ ඔත්තුකරු විසින් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කළේය.

3. මෙම සිද්ධිවලට සම්බන්ධ සාරා ජෙස්මින් නමැති කාන්තාව මියගොස් නොමැති බවට DNA වාර්තා දෙකකින් අනාවරණය වී තිබියදී තවත් DNA පරීක්ෂණයක් කරන ලෙස සුරේෂ් සලේ විසින් විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර තිබෙන බවට මෙම විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර සිටියේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් දින කිහිපයකට පසුව සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක පිපිරීමක් ඇතිවූ බවත් එම අවස්ථාවේ එහි සිටි සාරා ජස්මින් නමැති කාන්තාවගේ මළ සිරුර මේ දක්වා සොයාගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහූ පැවසූහ.

මීට අදාළව සිදුකළ DNA පරීක්ෂණ දෙකකදීම සාරා ජෙස්මින් නමැති කාන්තාව මිය නොගිය බවට කරුණු අනාවරණය වී තිබියදී තුන්වන DNA පරීක්ෂණයක් කරන ලෙස සුරේෂ් සලේ විසින් විමර්ශන නිලධාරීන්ට බලපෑම් කර ඇති බව මීට අදාළව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ඔවුන් සඳහන් කළහ.

හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සොයිසා යන නිලධාරීන් ලබා දී ඇති ප්‍රකාශවලට අනුව ආරක්ෂක මණ්ඩලය තුළත් සැකකාර සුරේෂ් සලේ මේ සම්බන්ධයෙන් බලපෑම් කර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි ඔවුහූ කියා සිටියහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ ප්‍රකාශයක් ලබා දී ඇති අතර ඔහුගේ ප්‍රකාශයට අනුව ආරක්ෂක මණ්ඩලය තුළ ජනාධිපතිවරයා හරහාත් මෙම බලපෑම සිදුකර ඇති බවත් එම පීඩනය දරා ගත නොහැකිව තමන්ට හෘදයාබාධයක් ඇතිවූ බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි විමර්ශන නිලධාරීන් සඳහන් කළහ.

ආරක්ෂක මණ්ඩලයේදී නිලධාරීන්ට බලපෑම් කරන්නේ කෙසේද?

ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වශ්‍යයෙන් කටයුතු කළ තම සේවාදායකයා ආරක්ෂක මණ්ඩලයේදී අනිත් නිලධාරීන්ට බලපෑම් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

රාජ්‍ය බුද්ධි සේවය ඇත්තේ, පොලිස්පතිවරයා යටතේ බවත් මේ කතා කරන නිලධාරින් එම කාලයේ සිටියේ නිල ඇඳුම් ඇඳගෙන දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මෙය ලැජ්ජාවට කරුණක් බවත් සඳහන් කර සිටියේය.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දී සැකකාර සුරේෂ් සලේ සිටියේ මැලේසියාවේ බවත් 2018 වසරේ ඔහු ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට පිටත්ව ගොස් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන 25 කට වඩා සිදුවී ඇති බවත් එම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි අයම අදත් ඒ විමර්ශනය සිදු කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර සිටියේය.

මෙය අපක්ෂපාතී පරීක්ෂණයක් ද?

මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජයකි අල්විස් කොමිසමේ වාර්තාව පරීක්ෂාවට ලක් කළේ නම්; මේ ප්‍රහාරයට වගකිව යුත්තේ කවුදැයි? පැහැදිලි වන බවත් ඊට වගකිවයුතු පුද්ගලයින් විමර්ශනය මෙහෙයවද්දී මෙය අපක්ෂපාතී පරීක්ෂණයක් වන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කළේය.

අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේගෙන් නිසියාකාරව උපදෙස් ලබා ගැනීමට නීතිඥවරුන්ට හැකියාවක් නැති බවත් ඔහු හමුවීමට සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු සමග කතා කරන දේවල් පටිගත කිරීමක් සිදුවන බවත් චෝදනා කර සිටියේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර සිය නිරීක්ෂණ සටහන් කරමින් මෙම නඩුකරයේ තුන්වන සැකකරු වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු පාස්කු ප්‍රහාරය හා සෘජුව සම්බන්ධ වූ කරුණු බවත් ඔහුට එරෙහි සාක්ෂි ප්‍රමාණවත් ද යන්න ඉදිරි විමර්ශන මත තීරණය කළ යුතු බවත් සඳහන් කළේය.

ආරක්ෂක මණ්ඩලයේදී ජනාධිපතිවරයා හරහා මෙම විමර්ශනය සම්බන්ධයෙන් බලපෑමක් සිදුකිරීමට කටයුතු කරන බව නඩුකරයේදී සඳහන් වූ බවත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත වගකීම සම්බන්ධයෙන් වගකීම් පැවරිය නොහැකි බවත් අපරාධ වගකීම පැවරිය හැක්කේ විමර්ශන අඩපණ කිරීමේ අරමුණින් ලබාදුන් නියෝග සම්බන්ධයෙන් පමණක් බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ය.

එම නිසා ආරක්ෂක මණ්ඩලයේදී සිදුවූ කටයුතු සම්බන්ධයෙන් අපරාධ වගකීමක් පැවරිය හැකිදැයි සොයා බැලීම සඳහා තවදුරටත් විමර්ශන කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම නඩුකරයේ වැඩිදුර විමසීම ලබන 25 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.