'මට අම්මයි තත්තායි ගෙදරින් යන්න කැමති කර ගන්න බැරි වුණා': ටෙහෙරානයේ සිටින සිය පවුල ගැන බියෙන් පසුවන බීබීසී වාර්තාකරුවෙකුගේ අත්දැකීම

ඡායාරූප මූලාශ්‍රය, Parham Ghobadi

ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසී පර්සියානු සේවයේ පර්හාම් හෝබාදිට තම දෙමව්පියන් ටෙහෙරානයෙන් පිටව යාමට කැමති කරවා ගැනීමට නොහැකි වී තිබේ. ඉරාන රාජ්‍යය ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට ඉඩ ඇති හෙයින් ඔවුන්ගේ අනන්‍යතාව අනාවරණය නොවීම සඳහා මුහුණු බොඳ කර ඇත
    • Author, පර්හාම් හෝබාදි
    • Role, ජ්‍යෙෂ්ඨ වාර්තාකරු, බීබීසී පර්සියානු සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 6

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන අගනුවරින් "වහා ම ඉවත් වන" ලෙස අනතුරු ඇඟවීමෙන් පසු, මාගේ දෙවම්පියන් ටෙහෙරානයේ පිහිටි සිය නිවසින් පිටව යාමට කැමති කරවා ගැනීමට මට නොහැකි විය.

මගේ පියා මා හා මෙසේ පැවසීය: "අපි ඉන්න වයසේදී, මේ තියෙන ඔක්කොම සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක පැය ගණනක් ට්‍රැෆික්වල හිර වෙලා, මිනිස්සු පිරුණු නගරවල අත්‍යවශ්‍ය ම දේවල්වත් නැතිව, මුහුණ දෙන්න අමාරුයි. ටෙහෙරාන්වලින් යන එක අපට විසඳුමක් නෙවෙයි."

මගේ දෙමව්පියන් දෙදෙනා ම දියවැඩියාවෙන් පෙළෙති. දරුණු කරකැවිල්ලක් නිසා මගේ මව පසුගිය මාසයක කාලය පුරා නිවසට ම සීමා වී සිටි අතර, ඇයට සහයක් නොමැතිව ඇවිදීමට නොහැකි ය.

මගේ පියා විවිධ නිධන්ගත රෝගවලින් පෙළෙන අතර, නැවතී විවේක ගැනීමකින් තොරව ඔහුට යන්තම් මීටර් දහයකට වඩා ඇවිද යාම දුෂ්කර ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ ඉරාන රාජ්‍ය විකාශන ආයතනයෙන් නැගෙන දුමාරය දෙස කන්දක් මත සිට බලා සිටින පුද්ගලයින් පිරිසක්

පිටව යාම සැමට විසඳුමක් නොවේ

නමුත් ටෙහෙරානයේ රැඳී සිටින්නේ මගේ දෙමව්පියන් පමණක් නොවේ.

ඉරානයේ සිටින කාන්තාවක් ද ඇගේ දෙමව්පියන් ටෙහෙරානයෙන් පිටව යාමට අකමැති බව පැහැදිලි කළා ය: "අවතැන් වෙනවට වඩා එයාලගේ ගෙදර ඉඳලා නම්බුකාර විදිහට මැරිලා යන එක හොඳයි කියලා එයාලා විශ්වාස කරනවා."

ඔවුන් ඇයට මෙසේ පවසා තිබේ: "අපේ ගෙදර විනාශ වෙන්න නම් යන්නේ අපිත් ඒ එක්ක ම විනාශ වෙලා යනවා."

බොහෝ දෙනෙකුට ටෙහෙරාන් නගරයෙන් පිටව යාම කළ නොහැක්කක් වී ඇත්තේ ඇයි දැයි තවත් කාන්තාවක් මෙලෙස පැහැදිලි කරයි: "අපේ ඉන්න සමහර අසල්වැසියෝ ඇල්සයිමර් රෝගයෙන් පවා පෙළෙනවා. රෝද පුටුවල ඉන්න අසල්වැසියන් පවා අපට ඉන්නවා."

රැඳී සිටීමට තෝරාගෙන ඇති හෝ, පිටව යාමට නොහැකි අයට ජීවිතය එතරම් පහසු නොවේ.

ආහාර සහ ඉන්ධන හිඟය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මිනිසුන් ටෙහෙරානයෙන් ඉවත්ව යාමට උත්සහ කිරීමත් සමග මාර්ග රථවාහනවලින් පිරී ගිය අයුරු

බොහෝ ස්වයංක්‍රීය මුදල් ලබා ගන්නා යන්ත්‍ර හිස් වී තිබේ. ටෙහෙරානයේ සිටින තවත් කාන්තාවකට අනුව, විවෘතව ඇත්තේ සෑම කඩ සාප්පු දහයකින් එකක් පමණි.

ගැටුම ආරම්භයේදී ම නලයක් පුපුරා යාම නිසා තමන් වෙසෙන ගොඩනැගිල්ලට ජලය නොමැති වී ගිය බව ත් එය නැවත සකසා ගැනීමට කිසිදු ජල නල කාර්මිකයෙකු නොමැති බව ත් එක් ප්‍රදේශවැසියෙක් මා හා පැවසීය.

"අපි ළමයින්ව ආරක්ෂිත ස්ථානවලට යැව්වා, නමුත් අපි නැවතිලා හිටියා - අපේ නගරයේ ඉන්න බළලුන් වෙනුවෙන්, අපේ ගොඩනැගිලිවල ආරක්ෂාව වෙනුවෙන්. දෙවියන්ගේ කැමැත්ත ඒක නම්, ඒක ඉවර වෙයි," එක් මිනිසෙක් මට පැවසීය.

ඔහු සඳහන් කළේ, නගරයේ වීදිවල ජීවත් වන සහ එහි පදිංචිකරුවන් විසින් රැකබලා ගනු ලබන බළලුන් ගැන ය.

ඡායාරූප මූලාශ්‍රය, Atta Kenare / AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙහෙරානයේ පෞද්ගලිකව අරමුදල් සපයන 'Meowseum' ලෙස හඳුන්වන බළල් කෞතුකාගාරයක් සහ ආපන ශාලාවක් ඇති අතර එහි වීදිවල බොහෝ බළලුන් ජීවත් වන බවට ප්‍රසිද්ධ ය

අධික තදබදය

ඊශ්‍රායලයේ මුළු ජනගහනය තරම් ජනගහනයක් ටෙහෙරානයේ වාසය කරති. දැඩි මාර්ග තදබදයක් සහිත, ඉන්ධන සලාක ලෙස ලබා ගැනීමට සිදුව ඇති මෙම අතිශය කාර්යබහුල නගරයෙන් පිටව යාම කුමනාකාරයේ දෙයක් දැයි මොහොතක් සිතා බලන්න.

එක් රියැදුරෙකුට දිනකට පෙට්‍රල් ලීටර් 25ක් පමණක් ලබා ගත හැකි අතර, පිටව යාමට උත්සහ කරන අයට පැය ගණනාවක මාර්ග තදබදයට මුහුණ දීමට සිදුව තිබේ.

ඔවුන්ගේ ගමන අතරමගදී ඉන්ධන අවසන් වූ බවට ඇතැමෙක් මා හා පැවසූහ.

බොහෝ දෙනෙක් උතුරේ පිහිටි සාමකාමී ප්‍රදේශ වන මසන්ඩරාන් හෝ ගීලාන් වෙත පලා යමින් සිටිති.

සාමාන්‍යයෙන් ටෙහෙරානයේ සිට පැය තුනත් හතරත් අතර කාලයක් ගත වන මෙම ගමන සඳහා පසුගිය දින කිහිපය තුළ පැය 12කටත් වඩා වැඩි කාලයක් ගතවී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු සඳුදා (ජූනි 16) ටෙහෙරානයේ ෂහ්රාන් තෙල් ගබඩාවෙන් ගිනිදැල් නැගෙන ආකාරය දෙස බලා සිටින ජනතාව

"වැඩිය කට්ටිය ගමන් කරන්නේ නැති වෙලාවට පිටවෙලා යන බලාපොරොත්තුවෙන් අපි පහුගිය දින කිහිපයේ ට්‍රැෆික් එක දිහා බලාගෙන හිටියේ. නමුත් අවසානයේදී අපි තාම ලොකු ට්‍රැෆික් එකක හිරවෙලා," තවත් පදිංචිකරුවෙක් පැවසීය.

"කාලගුණය දරාගන්න බැරි තරම් රස්නෙයි, ඒ වගේ ම ඉන්ධන සැපයුමත් අඩු නිසා කාටවත් ඒසී පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. සමහර කාර් ගමන යන අතරමග කැඩිලා එහෙමත් නැතිනම් ඉන්ධන ඉවර වෙලා. හැම ඉන්ධන පිරවුම්හලක ම පෝලිම් කිලෝමීටර් ගණනක් ඇදිලා ගිහිල්ලා."

එමෙන් ම ඔවුන්ගේ ගමනාන්තයට ළඟා වූ අයට දැන් නව අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබේ: එහි කුලියට ගැනීමට ප්‍රමාණවත් තරම් නිවාස නොමැත.

ආහාර මිල අහස උසට ඉහළ ගොස් ඇත. පුද්ගලයන් ප්‍රවාහනයට කුලී රථ අධික මුදලක් අය කරයි.

ඡායාරූප මූලාශ්‍රය, MINA / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සඳුදා (ජූනි 13) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු ටෙහෙරානයේ ඉරාන රාජ්‍ය මාධ්‍ය ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් දුමාරයක් නැගෙන ආකාරය

'ඔයාට අවශ්‍ය අපි මැරිලා ගියාට පස්සේ 'අපි ඔයාලට මෙහෙම කිව්වා,' කියලා කියන්න ද?'

දශක ගණනාවක මර්දන ක්‍රියාමාර්ගවලින් පසුව, එක්වර ම තමන්ට කිසිවිටෙකත් අවශ්‍ය නොවූ යුද්ධයකට තමන්ව ඇද දැමූ බවට බොහෝ ඉරාන වැසියන්ට දැනෙයි.

"බෙන්ජමින් නෙතන්යාහු (ඊශ්‍රායල අගමැතිවරයා) සහ ඊශ්‍රායලය හෝ ඉස්ලාමීය ජනරජනය යන දෙකෙන් එකක්වත් අපි ගැන හිතන්නේ නෑ," යැයි ටෙහෙරානයේ රැඳී සිටීමට තෝරා ගත් පුද්ගලයෙකු බීබීසී පර්සියානු සේවයට පැවසීය.

"තමන්ගේ මිනිස්සු ගැන නොහිතන කුරිරු පාලනයක් සහ අපට මිසයිලවලින් පහර දෙන අය මැද්දේ අපිව හිරවෙලා," තවත් කාන්තාවක් අප වෙත පැවසුවා ය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා නගරයෙන් ඉවත් වන ලෙස සිදු කළ නියෝගය සිවිල් වැසියන්ට සිදු වූ හානි සාධාරණීකරණය කිරීම සඳහා වූ රැවටිල්ලක් පමණක් බව ඇය විශ්වාස කරයි. ඇයට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දීමට පණිවිඩයක් තිබේ:

"ලෝකේ අනිත් පැත්තේ ඉඳගෙන ටෙහෙරානයෙන් ඉවත් වෙන්න කියන එකෙන් ඔයා මොකක් ද අදහස් කරන්නේ? ඔයාට අවශ්‍ය අපි මැරිලා ගියාට පස්සේ 'අපි ඔයාලට මෙහෙම කිව්වා,' කියලා කියන්න ද?"