මහ මැතිවරණය 2024: ජාතික ජන බලවේගයට ආසන 159ක ඓතිහාසික ජයක්!

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 3

2024 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් හිමි වී තිබේ.

ඔවුන්ට හිමි වූ සමස්ත ඡන්ද සංඛ්‍යාව 6,863,186ක් වන අතර, පාර්ලිමේන්තුවේ ආසන 159ක් එම පක්ෂයට හිමි විය.

මහජන ඡන්දයෙන් ජාතික ජන බලවේගයට ආසන 141ක් හිමි විය. ඊට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18ක් එක්වූ අතර ඒ අනුව ඔවුන්ට හිමි වූ සමස්ත ආසන සංඛ්‍යාව 159කි.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ඡන්ද 1,968,716ක් හිමි කර ගත් සමගි ජන බලවේගයට හිමි වූ ආසන සංඛ්‍යාව 40කි.

ඒ, මහජන ඡන්දයෙන් ආසන 35ක් සහ ජාතික ලැයිස්තුවෙන් ආසන 5ක් වශයෙනි.

මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ඒ ඒ පක්ෂවලට හිමිව ඇති ආසන සංඛ්‍යාව මෙසේ ය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි ඡන්ද 257,813ක් හිමි කර ගත් අතර, ආසන 8ක් හිමි කර ගැනීමට සමත් විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835ක් හිමි කරගෙන ආසන 5ක් හිමි කර ගත්තේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429ක් ලබා ගනිමින් ආසන 3ක් ලබා තිබේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් සමගින් ආසන 3ක් හිමි කර ගැනීමට සමත් විය.

ඡන්ද 178,006ක් ලබා ගත් සර්ව ජනබලයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වී තිබේ.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.
කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ජනාධිපතිවරණයට වඩා වෙනස් ප්‍රතිඵලයක්

ජනාධිපතිවරණය පවත්වා දින 54ක පමණ කාලයකින් මහ මැතිවරණය පැවැත්විණි.

සැප්තැම්බර් 21 වන දා පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ඡන්ද 5,740,179ක් හිමි කර ගත්තේ ය.

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්ද 6,863,186ක් හිමි වූ අතර, එය ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද සංඛ්‍යාවේ 1,123,007ක ඉහළ යාමකි.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ඡන්ද 4,530,902ක් ලබා ගත් අතර, ඔහු නායකත්වය දුන් සමගි ජන බලවේගයට මහ මැතිවරණයේදී හිමි වූයේ, ඡන්ද 1,968,716ක් පමණි.

ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔවුන්ට මහ මැතිවරණයේදී ඡන්ද 2,562,186ක් අහිමි වී තිබේ.

එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ඒ ඒ පක්ෂවලට හිමි වනු ඇතැයි ප්‍රක්ෂේපණය කරන ලද ආසන සංඛ්‍යාව පහත පරිදි ය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

අරගලයට පසු පැවති පළමු මහ මැතිවරණය

මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට එරෙහිව මතු වූ අරගලයට වසර දෙකක කාලයක් ගතවීමෙන් පසුව ය.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජය ගැනීමෙන් පසුව සහ 2020 වසරේ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගැනීමෙන් පසුව කෙටි කලකින් රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ජන අරගලයක් නිර්මාණය විය.

එම විරෝධය අතරතුර රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූ අතර, ජාතික ජන බලවේගය කෙරෙහි ජනතා අවධානය යොමු වන්නට විය.

ශ්‍රී ලංකාවේ 9 වන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ජය හිමි වූයේ, එවැනි පසුබිමක් තුළ ය.

පසුගිය මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හිමි වූයේ, පාර්ලිමේන්තුවේ ආසන තුනක් පමණි.

මෙවර ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 159කි.

අරගලයේ ජනතා ඉල්ලීම්

ජනතා අරගලයේදී මෙන් ම ඊට පෙර ද ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයක් අතර පැවති මතයක් වූයේ, පාර්ලිමේන්තුවේ 225 ම එපා! යන්න ය.

ඊට අමතරව, ප්‍රභූ පැළැන්තිය සහ මහලු දේශපාලකයින් ද ජනතාව ප්‍රතික්ෂේප කර සිටියහ.

මහ මැතිවරණය කැඳවූ අවස්ථාවේදී ම එම ඉල්ලීම්වලින් අඩක් ඉෂ්ට වූයේ, හිටපු මන්ත්‍රීවරුන් රැසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කිරීමත් සමග ය.

ඊට අමතරව, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තුවේ ආසන හිමි කර ගත් අතිශය බහුතරය නවකයින් සහ තරුණයින් වීම ද ජනතා අභිලාෂය ඉෂ්ට වීමකි.