ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ප්‍රහාරයකින් තුවාල ලැබූ ලාංකිකයා ගැන ඥාතියෙක් BBCයට කතා කරයි
"අපේ අයට ම මොක ද මේ වුණේ කියලා අපිටත් එක පාරට හිතා ගන්න බැරුව ගියා," මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේදී තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාගේ ඥාතියෙක් එලෙස බීබීසී සිංහල වෙත පැවසීය.
සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු, තුවාල ලබා සිටින ශ්‍රී ලාංකිකයා මුහුණු දුන් සිදුවීම විස්තර කළේ ය.
'එයාට සිහි නැති වෙලා ඒ වෙලාවෙ ම පොලිසියෙන් ඇවිල්ලා හොස්පිට්ල් දාලා'
වෙන්නප්පුවට සමීප ප්‍රදේශයක පදිංචිකරුවකු වන 50 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස තුවාල ලබා තිබූ අතර ඔහු වසර 10කට වැඩි කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරයි.
තුවාල ලැබූ ලාංකිකයා අබුඩාබි ආසන්න නගරයක සිය බිරිඳ සමග හිතවතෙකුගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.
"ජබෙල් අලී කියලා පැත්තක් තියෙනවා. ඒ අය අඳුරන ඇන්ටි කෙනෙක් ඉන්නවා එයාව බලන්න ගිහින් තියෙන්නේ. ඒ හරියේ තමයි මුලින් ම ගහන්න පටන් අරන් තියෙන්නේ. ඒ ගිහිල්ලා ඉද්දි තමයි මේ ගෙවල්වලට මොකක් හරි වැටිලා තියෙන්නේ. ඒ හරියේ ගෙවල් පහක් විතර ඩැමේජ් වෙලා තියෙනවා. එයාගේ ඇඟට සිවිලිමක් වගේ මොකක් හරි, බිත්ති කෑලි වගේ කඩන් වැටිලා තියෙනවා. ඒක තමයි අනතුර වෙන්න හේතුව. එයාට සිහි නැති වෙලා ඒ වෙලාවෙ ම පොලිසියෙන් ඇවිල්ලා ඇමිබියුලන්ස් කෝල් කරලා එයාව හොස්පිටල් එකට දාලා. ඒ දැම්මයින් පස්සේ සිහිය ඇවිත් තියෙන්නේ."
'ජීවිත අවදානම පැත්තෙන් ලොකු හානියක් නැහැ'
මාර්තු 31 වන දා සිදුවූ ප්‍රහාරය හේතුවෙන් මෙම ලාංකිකයා තුවාල ලබා ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු සැත්කමකට භාජනය කර ඇති බව බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් තුවල ලැබූ ලාංකිකයාගේ ඥාති පුත්‍රයෙකු බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.
"ඊයේ රෑ සර්ජරි එකකට ගත්තා එයාගේ කකුලේ ඇඟිල්ලක් පැනලා, ඇඟිලි වැඩ කරන්නේ නැතුව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ටිකක් ලොකු ඩැමේජ් එකකට තියෙන්නේ. අනිත් ඒවා සීරීම් තුවාල, වීදුරු කෑලිවලට කැපිලා තියෙනවා ඒ ඇරෙන්න ජීවිත අවදානම පැත්තෙන් ලොකු හානියක් නැහැ."
ඔහු මේ වන විට සුවය ලබමින් සිටින බැවින් දින කිහිපයකින් ඔහුට රෝහලෙන් පිට විය හැකි වනු ඇති බව ද ඔහු පැවසීය.
ඔහු තුවාල ලැබුවේ කුමන ආකාරයක ප්‍රහාරයකින් දැයි විමසූ අතර, ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බව ඥාති පුත්‍රයා සඳහන් කළේ ය.
'අපිටත් හිතාගන්න බැරි වුණා ඒ පණිවිඩය එද්දි'
මෙම සිදුවීමෙන් හෝ මීට පෙර සිදුවූ ප්‍රහාරවලින් එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලැබූ බව දැනගන්නට නැති බව ද ඔහු සඳහන් කළේ ය.
"අපි මේ පණිවුඩය ආපු වෙලාවේ පුදුම වුණා, විශ්වාස කරන්න බැරි වුණා. මොක ද අපි දන්න කෙනෙකුටවත්, වෙන කෙනෙක්ටවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැතිව මේ එක පාර ම අපේ අයට මොකක් ද මේ වුණේ කියලා අපිටත් හිතාගන්න බැරි වුණා ඒ පණිවිඩය එද්දි."