ශ්‍රී ලංකාවේ 'විශිෂ්ට සෞඛ්‍ය සේවාවක්' තිබේ නම් දේශපාලකයින් ප්‍රතිකාරවලට සිංගප්පූරු යන්නේ ඇයි?

    • Author, කුමුදු ජයවර්ධන
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳ කීර්ති නාමයක් දීර්ඝ කාලීනව ගොඩ නැගී තිබේ.

විශේෂයෙන් යුරෝපා රටවල ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට විවර වන අවස්ථා අනුව ද ඒ බව සනාථ වෙයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් පවතින බවට සහතික දෙන දේශපාලනඥයින් ම බොහෝවිට ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සඳහා විදෙස්ගත රෝහල් කරා ඇදී යාමේ ප්‍රවණතාවක් පසුගිය දශක කිහිපය පුරා අපි අසා දැක ඇත්තෙමු.

මෙහි ආසන්නතම සිදුවීම වූයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට යාම ය.

එහිදී, ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව මාධ්‍ය වාර්තාවල පළවී තිබිණි.

මීට පෙර, වෛද්‍ය රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද සිල්වා ආදී දේශපාලනඥයින් විවිධ ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා සිංගප්පූරුව බලා ගිය අවස්ථා වාර්තා වී තිබේ.

වෛද්‍ය රාජිත සේනාරත්නගේ අත්දැකීම

2015 යහපාලන සමයේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ වෛද්‍ය රාජිත සේනාරත්න 2016 වසරේදී සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී බයිපාස් සැත්කමක් සිදු කර ගැනීම එකල දැඩි කතාබහට ලක්විය.

බොහෝ දෙනෙකු එවකට චෝදනා කළේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයා තමන්ගේ ම සෞඛ්‍ය සේවය ගැන විශ්වාසය නොකිරීම බරපතළ තත්ත්වයක් බව ය.

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට බලපෑ කරුණු පිළිබඳව ඔහුගෙන් ම කරුණු විමසීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

ඔහු ප්‍රකාශ කළේ, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මැදිහත් වීම මත සිය ශල්‍යකර්මය සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී සිදු කළ බව ය.

"ඒ කාලේ සෝභිත හාමුරුදුරුවෝ (පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි), එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන වගේ කිහිප දෙනෙක් මැරුණා. ඒ නිසා මම හිතන්නෙ අගමැතිතුමා මගේ ආරක්ෂාව ගැන හිතලා මාව සිංගප්පූරුවට යවන්න සියලු දේ සූදානම් කරල තිබුණා."

ඔහු එහිදී අත්දුටු සෞඛ්‍ය සේවාව පිළිබඳව ද බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේ ය.

"එහෙ තාක්ෂණය ඉතා ම ඉහළ යි. විශේෂඥ වෛද්‍යවරයාගේ ඉඳලා කළමනාකරණ සේවා දක්වා ඉතා ම දියුණු තත්ත්වයක් දකින්න ලැබුණා. මම එහෙ හිටිය කාලේ මම ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා ඔවුන්ගේ තාක්ෂණය සහ සේවාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවකයින්ට පුහුණුවක් ලබා දෙන්න කියලා. ඒ අනුව, ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳලා කළමනාකරණ සේවය දක්වා නිලධාරීන් 1500 දෙනෙක් පුහුණු කරන්න එකඟ වුණා. තවමත් නිලධාරීන් 25 දෙනා බැගින් වගේ ඒ පුහුණුවට යවනවා. ගුවන් ටිකට් එක විතර යි ලංකාවට දරන්න තියෙන්නේ. ඒක බිලියන ගාණක ව්‍යාපෘතියක්."

මේ අතර, ඔහු පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර රක්ෂණ හිමියන් ද මවුන්ට් එලිසබෙත් වැනි දියුණු සෞඛ්‍ය සේවාවලින් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන බව ය.

'තාක්ෂණය අතින් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා' – GMOA

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විවිධ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් සිංගප්පූරුවට පමණක් නොව ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ද යන බව ය.

"දේශපාලනඥයින් විතරක් නෙවෙයි, විවිධ පුද්ගලයින් විවිධ ප්‍රතිකාර සඳහා වෙන විකල්පවලට යනවා. සිංගප්පූරුවට විතරක් නෙවෙයි, ඉන්දියාවටත් යනවා. වකුගඩු රෝගවලට, අක්මා බද්ධ කිරීම්වලට ඉන්දියාවට යනවා. මඳසරුභාවයට ප්‍රතිකාර ගන්නත් ඉන්දියාවටත් සිංගප්පූරුවටත් යනවා. විවිධ පුද්ගලයින් යනවා. ඒත්, දේශපාලනඥයින් ගැන විතර යි වාර්තා පළවෙන්නේ. ඒත්, හැකියාව තියෙන අය ප්‍රතිකාර සඳහා විදෙස් රටවලට යනවා."

වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දුන්නේ, මූල්‍ය හැකියාව තිබීම සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ නොමැති ප්‍රතිකාර ක්‍රම ලබා ගැනීම යන කරුණු දෙක ඒ සඳහා බලපාන බව ය.

"තාක්ෂණික පැත්තෙන් ගත්තොත් ඔවුන් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. සමහර කාරණාවලදී අපේ රටේ නැති නවීන තාක්ෂණික ක්‍රමවේද ඒ රටවල තියෙන්න පුළුවන්," රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වී ඇති වාර්තාවල වැඩි වශයෙන් සඳහන් වන රෝහලක් වන්නේ, මවුන්ට් එලිසබෙත් රෝහල ය.

මවුන්ට් එලිසබෙත් රෝහල

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ලෝකය පුරා ඔවුන්ගේ ජාත්‍යන්තර කාර්යාල ක්‍රියාත්මක වන්නේ, 20කි.

එම 20 අතරින් එක් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටා තිබීම විශේෂත්වයකි.

එම රෝහල සඳහා ශ්‍රී ලාංකික රෝගීන්ගේ ඇති ඉල්ලුම එමගින් පෙනී යයි.

එම කාර්යාලය හරහා වෛද්‍ය සේවාවන් පමණක් නොව, ගුවන් ගමන් සංවිධානය කර දීම, අවශ්‍ය නම් භාෂා පරිවර්තන පහසුකම්, ආගමික පහසුකම් සහ විශේෂ ආහාරපාන සැපයීම් ද සිදු කරන බව එහි සඳහන් වෙයි.

මවුන්ට් එලිසබෙත් රෝහලේ නියෝජිතයෙකු පළ කළ අදහස්

මවුන්ට් එලිසබෙත් රෝහලේ ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර කාර්යාලයේ නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට අපට හැකි විය.

ඇතැම් ශ්‍රී ලාංකිකයින් මවුන්ට් එලිසබෙත් රෝහල සිය ප්‍රතිකාර සඳහා තෝරා ගැනීමට බලපා ඇති කරුණු පිළිබඳව අපි ඔහුගෙන් විමසීමක් කළෙමු.

ඔහු ඊට ප්‍රතිචාර දැක්වමින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලාංකිකයින් සිංගප්පූරුවෙන් (විශේෂයෙන් මවුන්ට් එලිසබෙත් රෝහලෙන්) ප්‍රතිකාර ලබා ගැනීමට බලපාන ප්‍රධාන හේතු දෙකක් ඇති බව ය.

"එකක් තමයි අතිනවීන තාක්ෂණය. අනිත් එක තමයි, ඔරිජිනල් ඖෂධ. මේ හේතු දෙක මත තමයි, ගොඩක් වෙලාවට අපේ රෝහල තෝර ගන්නේ. ඒ කියන්නේ, ශ්‍රී ලංකාවේ අතිනවීන තාක්ෂණ හිඟය සහ ඔරිජිනල් ඖෂධවල තියෙන හිඟය මේ තත්ත්වයට බලපානවා. උදාහරණයක් විදිහට පිළිකාවලට ප්‍රතිකාර කරද්දී භාවිත කරන ප්‍රෝටෝන් තෙරපි වගේ ඒවා ශ්‍රී ලංකාවේ නැහැ. ඒ ප්‍රතිකාර ලබා ගන්න විදෙස් රෝහලකට යන්න ම වෙනවා."

'ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්'

සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ හෘද රෝග සම්බන්ධ ප්‍රධානියා ලෙස සේවය කරන්නේ ද, ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි.

ඔහු වෛද්‍ය සිවදාසන් කුමාරස්වාමි ය.

වෛද්‍ය සිවදාසන් දැනට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් වෛද්‍ය මධ්‍යස්ථානයේ හෘද, පෙනහලු සහ සනාල මධ්‍යස්ථානයේ හෘද වාහිනී සහ උරස් සැත්කම් පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කරයි.

වෛද්‍ය සිවදාසන් සිංගප්පූරුවේ ජාතික හෘද මධ්‍යස්ථානයේ යාන්ත්‍රික හෘද උපාංග පිළිබඳ වැඩසටහන් අධ්‍යක්ෂ සහ හෘද/පෙනහලු බද්ධ කිරීමේ වැඩසටහනේ සම අධ්‍යක්ෂ යන තනතුරු කිහිපයක් ද දරයි.

අවම ආක්‍රමණශීලී හෘද උරස් සැත්කම් වැඩසටහනේ රොබෝ තාක්ෂණය භාවිත කිරීම සම්බන්ධ ප්‍රධාන පරීක්ෂකවරයා වන්නේ ද ඔහු ය.

ගාස්තු සහ වියදම්

සිංගප්පූරුවේ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් අධික වියදමක් දැරීමට සිදුවේ.

උදාහරණයක් ලෙස මවුන්ට් එලිසබෙත් රෝහලේ විවිධ කාමර සඳහා දිනකට අය කෙරෙන මිල ගණන් පහත පරිදි ය. (නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි)

මෙහි මිල ගණන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවා ඇත්තේ, මාර්තු 23 දිනට එහි අගය අගය රු. 308ක් ලෙස සලකමිනි.

  • ඇඳන් 4ක් සහිත කාමරය - ඇ.ඩො. 309 (රු. 95,172)
  • තනි කාමරය - ඇ.ඩො. 931 (රු. 286,748)
  • තනි සුඛෝපභෝගී කාමරය - ඇ.ඩො. 1,461 (රු. 449,988)
  • ඩැෆඩිල් කාමර (Daffodil suite) - ඇ.ඩො. 4,543 (රු. 1,399,244)
  • VIP කාමර - ඇ.ඩො. 4,543 (රු. 1,399,244)
  • Royal suite (without lodger room) - ඇ.ඩො. 6,388 (රු. 1,967,504)
  • Royal suite (with lodger room) - ඇ.ඩො. 7311 (රු. 2,251,788)
  • Royal suite (with lodger room and lounge) - ඇ.ඩො. 8,042 (රු. 2,476,936)
  • Royal suite (entire suite) - ඇ.ඩො. 11,072 (රු. 3,410,176)

ඊට අමතරව, දැඩි සත්කාර ඒකකයේ දිනක ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 998 (රු. 307,384) කි.

'සිංගප්පූරුවේ තැනට ලංකාව ගේන්න සෑම රජයකට ම අපි යෝජනා කළා'

සිංගප්පූරුවේ වැනි අතිශය දියුණු සෞඛ්‍ය සේවාවක් ස්ථාපනය කිරීම සඳහා පැවති සෑම රජයකට ම පාහේ යෝජනා ඉදිරිපත් කළ ද, ඉන් ඵලක් සිදු නොවූ බව රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, එවැනි තත්ත්වයක් ඇති කළහොත්, සෞඛ්‍යමය සංචාර හරහා රටට විදේශ විනිමය විශාල වශයෙන් ගෙන්වා ගත හැකි බව ය.

"එහෙම වුණොත් අපට පිට රටවලට යන්න ඕන වෙන්නෙ නෑ. වෙනත් රටවල ඉඳල අපේ රටට එයි ප්‍රතිකාර ගන්න. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට හෙදියන්ට ලෝකයේ පිළිගැනීමක් තියෙනවා. ඒත් නවීන තාක්ෂණය නැති නිසා අපේ රටේ සෞඛ්‍ය සේවය දියුණු කරන්න අමාරුයි."