හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාමේ අවදානමක් ඇති රටවල් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

    • Author, බෙන් චූ
    • Role, BBC Verify
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට ඇති වූ බාධා ගෝලීය බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමට හේතු වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල තියුණු ලෙස ඉහළ දමා තිබේ.

නමුත් ගැටුමෙන් බලපෑමට ලක්ව ඇත්තේ, ඉන්ධන පමණක් නොවේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර සැපයුම් දාමයට ඇතුළත් වන බොහෝ වැදගත් රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ රැසක් ඊට ඇතුළත් වේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දෛනිකව සිදුවූ නැව් ගමනාගමනය 100කට වඩා වැඩි සංඛ්‍යාවක් සිට අතලොස්සක් දක්වා අතිශයින් පහත වැටී ඇති බැවින්, ආහාරවල සිට ස්මාර්ට්ෆෝන් සහ ඖෂධ දක්වා භාණ්ඩවල මිල ගණන් ඉහළ යා හැකි බව BBC Verify වාර්තා කරයි.

මේ පිළිබඳ පර්යේෂණවල නිරත වන Kiel ආයතනය පෙන්වා දී ඇති පරිදි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් භාණ්ඩ මිල වැඩියෙන් ම ඉහළ යා හැකි රටවල් අතර ශ්‍රී ලංකා පසුවන්නේ, දෙවන ස්ථානයේ ය.

පොහොර (ආහාර)

ඛනිජ රසායනික ද්‍රව්‍ය තෙල් හා ගෑස්වලින් නිපදවන අතර අපනයනය සඳහා ගල්ෆ් රටවල් ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරයි.

ගෝලීය කෘෂිකාර්මික නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන එක් ද්‍රව්‍යයක් වන්නේ පොහොර ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යූරියා, පොටෑෂ්, ඇමෝනියා සහ පොස්ෆේට් වැනි ගෝලීය පොහොර අවශ්‍යතාවලින් තුනෙන් එකක් පමණ සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.

ලෝක වෙළෙඳ සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ, ගැටුම ආරම්භ වූ දා සිට, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පොහොර ආශ්‍රිත නිෂ්පාදන පිටතට යාම දැඩි ලෙස අඩාළ වී ඇති බව ය.

මාර්තු සහ අප්‍රේල් මාස උතුරු අර්ධ ගෝලයේ වගාවන් ප්‍රධාන ලෙස සිදුකරනු ලබන මාස වන බැවින් පොහොර හිඟය ගොවිතැනට බරපතළ ලෙස හානි කළ හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති. පොහොර අවම ලෙස භාවිත කිරීම වසර අග භාගයේ බෝග අස්වැන්න අඩු වීමට බලපා හැකි ය.

"සාපේක්ෂව කෙටි වසා දැමීමකින් (හෝමූස් සමුද්‍ර සන්ධිය) සමස්ත වර්ධන සමය ම අඩපණ කළ හැකි අතර, සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමෙන් පසුව ආහාර සුරක්ෂිතතාවට එල්ල වන බලපෑම බොහෝ කාලයක් පවතිනු ඇති," බව Kiel ආයතනයේ පර්යේෂකයින් පවසයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් වසා දැමීමෙන් ගෝලීය තිරිඟු මිල 4.2%කින් සහ පලතුරු සහ එළවළු මිල 5.2%කින් ඉහළ යා හැකි බව ආයතනයේ පර්යේෂණවලින් පෙනී යයි.

සමස්ත ආහාර මිල ඉහළ යාම අනුව වඩාත් ම දරුණු ලෙස බලපෑමට ලක් වන රටවල් වන්නේ සැම්බියාව (31%), ශ්‍රී ලංකාව (15%), තායිවානය (12%) සහ පකිස්ථානය (11%) බව එහි ඇස්තමේන්තු කර ඇත.

රුසියාව සාමාන්‍යයෙන් ගෝලීය පොහොර අපනයනයෙන් පහෙන් එකක් පමණ සපයන අතර විශ්ලේෂකයින් පවසන්නේ එම හිඟය පිරවීම සඳහා නිෂ්පාදනය වැඩි කළ හැකි බව ය.

රුසියාවේ විශේෂ නියෝජිත කිරිල් දිමිත්‍රීව් පැවසුවේ, ප්‍රධාන පොහොර නිෂ්පාදකයෙකු ලෙස තම රට "හොඳින් ස්ථානගත වී ඇති" බව ය.

හීලියම් (මයික්‍රෝචිප්)

ගෝලීය හීලියම් වායු නැව්ගත කිරීම්වලින් තුනෙන් එකක් සාමාන්‍යයෙන් කටාර් රාජ්‍යයෙන් පැමිණෙන අතර ඒවා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.

එය ස්වාභාවික වායු නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන අතර අර්ධ සන්නායක වේෆර් සෑදීමට භාවිත කරන අතර පසුව පරිගණක, මෝටර් රථ සහ ගෘහ උපකරණ සඳහා භාවිත වන මයික්‍රොචිප් සකස් කිරීමට භාවිත කරයි.

රෝහල්වල භාවිත කරන MRI ස්කෑනර් යන්ත්‍රවල චුම්භක සිසිල් කිරීම සඳහා ද හීලියම් භාවිත කෙරේ.

ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසු, ගෑස් නිෂ්පාදනය කරන කටාර්හි රාස් ලෆාන් ප්‍රධාන කම්හල තම නිෂ්පාදන කටයුතු නතර කර ඇත.

හානිය යථාතත්ත්වයට පත් කිරීමට වසර තුනත් පහත් අතර කාලයක් ගත වනු ඇතැයි කටාර් රජය අනතුරු අඟවා ඇති අතර, මේ හේතුවෙන් සැපයුම් පිළිබඳ බියක් මතු කරයි.

2023 දී, ගෝලීය හීලියම් සැපයුම් කඩාකප්පල් වීමක් මිල ඉහළ යාමට හේතු විය හැකි බවට එක්සත් ජනපද අර්ධ සන්නායක කර්මාන්ත සංගමය අනතුරු ඇඟවීය.

හෝමූස් අවහිරතාවයේ ප්‍රතිවිපාක ස්මාර්ට්ෆෝන්වල සිට දත්ත මධ්‍යස්ථාන දක්වා වන අතිනවීන තාක්ෂණික උපකරණ රාශියක මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ.

විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ප්‍රශාන්ත් යාදව්, දිගුකාලීන හීලියම් හිඟය හේතුවෙන් MRI පර්යේෂණවල මිල ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.

"MRI යන්ත්‍රවලට චුම්බක සිසිල් කිරීම සඳහා හීලියම් ලීටර් 1,500ත් 2,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ස්කෑන් කරන සෑම අවස්ථාවක ම, හීලියම් ස්වල්පයක් උතුරා යාමක් හෝ වාෂ්ප වීමක් සිදුවනවා."

"හීලියම් ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ දත්ත මධ්‍යස්ථාන, අර්ධ සන්නායක සහ AI සහ දත්ත කර්මාන්ත සිසිලනය කරන්න කියලා මිනිසුන් හිතන්න කැමති යි. ඒත් MRI සහ අනෙකුත් වෛද්‍ය කටයුතු සඳහා හීලියම් ඉතා වැදගත් බව අපට අමතක කරන්න බැහැ," ඔහු BBC Verify වෙත පැවසීය.

ඛනිජ රසායනික ද්‍රව්‍යවලින් නිපදවන ඖෂධ

මෙතනෝල් සහ එතිලීන් වැනි පෙට්‍රෝරසායනික ව්‍යුත්පන්නයන් වේදනා නාශක, ප්‍රතිජීවක සහ එන්නත් ඇතුළු ඖෂධ සෑදීම සඳහා ලොව පුරා භාවිත වන ප්‍රධාන අමුද්‍රව්‍ය වේ.

සෞදි අරාබිය, කටාර්, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ බහරේන් වැනි ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවල් ලෝකයේ ඛනිජ රසායනික නිෂ්පාදන ධාරිතාවෙන් 6%ක් සිදුකරනු ලැබේ.

මෙම රටවල් ප්‍රධාන වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා මෙම රසායනික ද්‍රව්‍ය විශාල ලෙස ගෝලීයව අපනයනය කරන අතර ඉන් අඩක් පමණ ආසියාවට යවනු ලැබේ.

ලෝකයේ සාමාන්‍ය (වෙළෙඳනාම රහිත) ඖෂධ අපනයනයෙන් පහෙන් එකක් ඉන්දියාව නිෂ්පාදනය කරන අතර, ඒවායින් බොහොමයක් ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපයට යවනු ලැබේ.

මෙම ඖෂධ නිෂ්පාදන බොහොමයක් සාමාන්‍යයෙන් ගෝලීය වෙළෙඳපොළට ගෙන එනු ලබන්නේ ගල්ෆ් කේන්ද්‍රීය ගුවන්තොටුපළවල් හරහා ය, විශේෂයෙන් ඩුබායි ගුවන්තොටුපළවල ගුවන් ගමන්, ගැටුම් හේතුවෙන් දැඩි ලෙස අඩපණ වී ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති වූ බාධාව හේතුවෙන් ඖෂධ මිල ඉහළ යාමේ හැකියාව පිළිබඳව ඇතැම් විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබේ.

සල්ෆර් (ලෝහ/බැටරි)

සල්ෆර් යනු බොරතෙල් සහ ස්වාභාවික වායු සැකසීමේ තවත් අතුරු ඵලයක් වන අතර ගල්ෆ් කලාපයේ රටවල් අපනයනය සඳහා විශාල වශයෙන් මේවා නිෂ්පාදනය කෙරේ.

ගෝලීය වශයෙන් මුහුද හරහා සිදුකරන සල්ෆර් වෙළෙඳාමෙන් අඩක් පමණ සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි.

එහි ප්‍රධාන භාවිතය කෘෂිකාර්මික පොහොර සකස් කිරීම වන නමුත් එය ලෝහ සැකසුම් සඳහා ද අත්‍යවශ්‍ය වේ.

සල්ෆර් සල්ෆියුරික් අම්ලය නිපදවීමට භාවිත කරන අතර එය තඹ, කොබෝල්ට් සහ නිකල් සැකසීමට මෙන් ම ලිතියම් නිස්සාරණය සඳහා ද යොදා ගනී.

ගෘහස්ත උපකරණවල සිට විදුලි වාහන දක්වා සහ ඩ්‍රෝන යානා වැනි සෑම උපාංගයක ම භාවිත වන බැට්රි නිෂ්පාදනය සඳහා එම ලෝහ සියල්ල ම අවශ්‍ය වේ.

සල්ෆර් සැපයුම අඛණ්ඩව ඇණහිටියහොත්, බැටරි අඩංගු නිෂ්පාදනවල පාරිභෝගිකයින් සඳහා මිල ඉහළ යාමට ඉඩ ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

අතිරේක වාර්තාකරණය: ටොම් එජින්ටන් සහ ජෝෂුවා චීතම්

ග්‍රැෆික්: ෆිල් ලීක්