ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාන යුද්ධය ගැන විරෝධය පළ කරමින් ඉල්ලා අස්වූ ඇමෙරිකාවේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා 'ආපසු හැරෙන්නැයි' ට්‍රම්ප්ට බල කරයි
- Author, බර්නාඩ් ඩෙබ්‍යුස්මාන් Jr.
- Role, ධවර මන්දිරයේ සිට...
- කියවීමේ කාලය: මිනිත්තු 5
ඉරාන යුද්ධයට විරෝධය පළ කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉහළ ම ත්‍රස්ත මර්දන නිලධාරියා ඉල්ලා අස්වී ඇති අතර, ජනාධිපතිවරයාට "මාර්ගය ආපසු හරවන" ලෙසට බල කර තිබේ.
ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝ කෙන්ට්, Xහි පළ කරන ලද ලිපියක සඳහන් කර ඇත්තේ, ඉරානයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට "ආසන්න තර්ජනයක් නොමැති" බවත්, ඇමෙරිකානු පරිපාලනය "ඊශ්‍රායලයේ සහ එහි බලගතු ඇමෙරිකානු ලොබියේ පීඩනය නිසා මෙම යුද්ධය ආරම්භ කළ" බවත් ය.
ධවල මන්දිරය එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඉරානය මුලින් ම එක්සත් ජනපදයට පහර දීමට සැරසෙන බවට ජනාධිපතිවරයා සතුව "බලගතු සාක්ෂි" ඇති බව ය. එක්සත් ජනපදයේ වෛරී ක්‍රියා නිරීක්ෂකයෙකු කෙන්ට්ගේ ක්‍රියාව "යුදෙව් විරෝධී උපක්‍රමයක්" බවට චෝදනා කළේ ය.
ඔහුගේ නික්ම යාමත් සමග, ඉරානයට එල්ල කරන ලද ඇමෙරිකානු-ඊශ්‍රායල් ප්‍රහාරය ප්‍රසිද්ධියේ විවේචනය කළ ට්‍රම්ප් පරිපාලනය තුළ වඩාත් ම කැපී පෙනෙන පුද්ගලයා කෙන්ට් ය.
අඟහරුවාදා (මාර්තු 17) ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් පැවසුවේ, කෙන්ට් "හොඳ මිනිහෙක්" නමුත් "ආරක්ෂාව අතින් දුර්වල" බව ය.
කෙන්ට්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය හරහා "ඔහු ඉවත්ව සිටීම හොඳ දෙයක්" බව තමාට වැටහුණු බව ඔහු පැවසීය.
ට්‍රම්ප් වෙත යොමු කරන ලද ලිපියෙහි කෙන්ට් චෝදනා කළේ, "ඉහළ පෙළේ ඊශ්‍රායල් නිලධාරීන්" සහ බලගතු ඇමෙරිකානු මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගේ "ඇමෙරිකාව පළමුව" සංකල්පය විනාශ කිරීමට හේතු වූ "වැරදි තොරතුරු" වැපිරූ බව ය.
"ඉරානයෙන් එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක් ඇති බව ඔබව විශ්වාස කිරීමට මෙම වැරදි තොරතුරු භාවිත කරන ලදී," ලිපියෙහි තවදුරටත් දක්වා තිබිණි. "ඒක අසත්‍යයක්."
දිගුකාලීනව ට්‍රම්ප්ගේ ආධාරකරුවෙකු වූ කෙන්ට්, දෙවරක් කොංග්‍රසය සඳහා තරග කර අසාර්ථක වූ අතර, ජනාධිපතිවරයා විසින් ඔහුගේ පරිපාලනයේ මුල් අවධියේදී ත්‍රස්ත විරෝධී තනතුරට නම් කරන ලදී.
2021 ජනවාරි මාසයේ ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලේ කෝලාහලය ෆෙඩ්රල් නියෝජිතයන් විසින් ඇති කරනු ලැබූ බවට හෝ 2020 මැතිවරණයෙන් ට්‍රම්ප් පරාජයට පත් නොවූ බවට කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කිරීම කෙන්ට් ඔහුගේ තහවුරු කිරීමේ නඩු විභාගවලදී ප්‍රතික්ෂේප කළේ ය.
2022 මැතිවරණ අපේක්ෂකත්වය සඳහා උපදේශකයෙකු ලෙස අන්ත දක්ෂිණාංශික ප්‍රවුඩ් බෝයිස් පක්ෂයේ සාමාජිකයෙකු බඳවා ගැනීම ඩිමොක්‍රටික් පක්ෂය විවේචනය කර තිබිණි.
කෙන්ට්ගේ ඉල්ලා අස්වීමේ ලිපියේ ඇති චෝදනා "ආදි කාලීන යුදෙව් විරෝධී උපක්‍රමයක්" බව එක්සත් ජනපද යුදෙව් විරෝධී නිරීක්ෂකයෙකු වන Anti-Defamation League (ADL) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
"එබැවින් ඉරාන පාලන තන්ත්‍රයට එරෙහිව යුද්ධයකට ජනාධිපතිවරයා තල්ලු කිරීම සම්බන්ධයෙන් ඔහු ඊශ්‍රායලයට සහ මාධ්‍යයට දොස් පැවරීම පුදුමයක් නොවේ," එම ආයතනය පැවසීය.
ඊශ්‍රායලයට පක්ෂපාතී බලපෑම් කණ්ඩායම වන ඇමෙරිකානු - ඊශ්‍රායල මහජන කටයුතු කමිටුව (Aipac), ADL ප්‍රකාශය නැවත Xහි පළ කළේ ය. අදහස් දැක්වීම සඳහා බීබීසී කළ ඉල්ලීමකට Aipac කඩිනම් ප්‍රතිචාර දැක්වූයේ නැත.
ලිබරල් ඊශ්‍රායල් හිතවාදී උපදේශක කණ්ඩායමක් වන ජේ ස්ට්‍රීට්හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඉලාන් ගෝල්ඩන්බර්ග්, කෙන්ට්ගේ ලිපිය විස්තර කළේ, "නරක ම යුදෙව් විරෝධී උපක්‍රම භාවිත කරන කැත දෙයක්" ලෙස ය.
45 හැවිරිදි කෙන්ට්, එක්සත් ජනපද විශේෂ බළකායේ සහ CIAහි ප්‍රවීණයෙකි. ඔහුගේ බිරිඳ වන නාවික බුද්ධි අංශයේ නිලධාරිනියක වූ ෂැනන් කෙන්ට් 2019 දී සිරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මිය ගියා ය.
දෙදරු පියෙකු වන ඔහු ඉරාකයේ එක්සත් ජනපද හමුදාවේ විශේෂ බළකායන් ඇතුළුව එක්සත් ජනපද හමුදාව සමග 11 වතාවක් විදේශයන්හි සේවය කළේ ය.
පසුව ඔහු CIAහි පැරාමිලිටරි නිලධාරියෙකු බවට පත් වූ අතර ඔහුගේ බිරිඳගේ මරණයෙන් පසු රජයේ සේවයෙන් ඉවත් විය.
"ඇමෙරිකානු ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් ලබා නොදෙන හෝ ඇමෙරිකානු ජීවිතවල වියදම සාධාරණීකරණය නොකරන යුද්ධයකදී සටන් කර මිය යාම සඳහා ඊළඟ පරම්පරාව යොමු කිරීමට සහය දිය නොහැකි" බව කෙන්ට් තම ලිපියේ සඳහන් කරමින් ඔහුගේ හමුදා සේවය සහ ඔහුගේ බිරිඳගේ මරණය පිළිබඳ කරුණු උපුටා දක්වා තිබේ.
ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේදී, කෙන්ට් ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් යටතේ සේවය කළ අතර ලොව පුරා ත්‍රස්තවාදී තර්ජන විශ්ලේෂණය සහ අනාවරණය කිරීම අධීක්ෂණය කළේ ය.
අඟහරුවාදා කෙන්ට් ඉල්ලා අස්වීමෙන් පසු, ඉරානය සමග යුද්ධයකට යාමට ට්‍රම්ප් ගත් තීරණය ගැබාර්ඩ් සාධාරණීකරණය කළා ය.
Xහි පළ කරන ලද නිවේදනයක, ඇය කියා සිටියේ, සේනාධිනායකයා ලෙස, ආසන්න තර්ජනයක් යනු කුමක් ද? යන්න තීරණය කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බව ය.
ජනාධිපතිවරයාට "ඔහුගේ තීරණ දැනුම් දීම සඳහා ඇති හොඳ ම තොරතුරු" ලබා දීමට සහය වීම සඳහා ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය වගකිව යුතු බව ඇය සඳහන් කළා ය.
"ඔහු ඉදිරියේ තිබූ සියලු තොරතුරු ප්‍රවේශමෙන් සමාලෝචනය කිරීමෙන් පසු, ජනාධිපති ට්‍රම්ප් ඉරානයේ ත්‍රස්තවාදී ඉස්ලාමීය පාලනය ආසන්න තර්ජනයක් එල්ල කරන බව නිගමනය කළ අතර එම නිගමනය මත පදනම්ව ඔහු පියවර ගත්තා," ගැබාර්ඩ් Xහි ලිවීය.
"ට්‍රම්ප් මෙම තීරණය ගත්තේ අන් අයගේ, විදේශ රටවල පවා බලපෑම මත බව" කෙන්ට් කළ යෝජනාව අපහාසාත්මක සහ හාස්‍යජනක බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවා ය.
"ජනාධිපති ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කර ඇති පරිදි, ඉරානය මුලින් ම එක්සත් ජනපදයට පහර දීමට යන බවට ඔහු සතුව ශක්තිමත් සහ බලගතු සාක්ෂි තිබුණා," ඇය තවදුරටත් පැවසුවාය.
මේ සම්බන්ධයෙන් දේශපාලනික ප්‍රතිචාර මිශ්‍ර අදහස්වලින් යුක්ත විය.
රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභාවේ හිටපු ඉහළ ම සාමාජිකයෙකු වන මිච් මැක්කොනෙල්, Xහි මෙසේ සටහනක් තබා තිබිණි: "හුදෙකලාවාදීන්ට සහ යුදෙව් විරෝධීන්ට පක්ෂ දෙකෙහි ම ස්ථානයක් නොමැති අතර, අපගේ රජය තුළ විශ්වසනීය තනතුරු දැරීමට ඔවුන්ට නිසැකව ම අයිතියක් නැත."
එහෙත්, ජෝර්ජියා හිටපු කොංග්‍රස් සභික මාර්ජෝරි ටේලර් ග්‍රීන් (කලක් ට්‍රම්ප්ගේ සහයකයෙකු විය) කෙන්ට්ට සහය පළ කරමින් ඔහු ඇමෙරිකානු වීරයෙකු ලෙස හැඳින්වීය.
ඇය Xහි මෙසේ පළ කළා ය: "ඔවුන් ජෝ කෙන්ට් ගැන බොරු කියමින් ඔහුව අපකීර්තියට පත් කරන්න යි සැරසෙන්නේ. බොරු විශ්වාස කරන්න එපා!"
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරියක වන මාග්‍රට් රයන් සහ කෙනඩි මධ්‍යස්ථානයේ ප්‍රධානී රිචඩ් ග්‍රෙනෙල් ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ඉල්ලා අස්වීම් ගණනාවක් සිදුවී තිබේ.
කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය තුළ, 2017-21 අතර ධවල මන්දිරයේ ඔහුගේ පෙර ධූර කාලයට වඩා බෙහෙවින් අඩු ඉල්ලා අස්වීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.