ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද්ධය ගැන ඉරාන මාධ්‍ය කියන්නේ මොනවා ද? යුද්ධය වාර්තා කිරීමේදී ඉරානය AI යොදා ගන්නවා ද?
- Author, රෙහා කන්සාරා
- Role, BBC Global Disinformation Unit
- Author, සොරූෂ් නෙගාදාරි
- Role, BBC Monitoring
- කියවීමේ කාලය: මිනිත්තු 7
යුද්ධයේ මුල් ම වාර්තා බොහෝ ඉරාන වැසියන්ට නැරඹීමට නොහැකි විදේශීය ජනමාධ්‍ය ඔස්සේ පළ විය. උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව අදහස් කරමින් පෙබරවාරි 28 වන දින අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ, "කෲර පාලකයා තවදුරටත් ජීවත් නොවන බවට සලකුණු ඇති" බව ය. කෙසේ වෙතත්, ඉරාන රාජ්‍ය රූපවාහිනිය නරඹන ඉරාන වැසියන් මුහුණ දුන්නේ නිහඬතාවකට ය.
රජයේ නිලධාරීහු කමේනිගේ මරණය තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු නොකළහ. රාජ්‍ය විකාශන ආයතනයට අයත් IRTV3 නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙකු නරඹන්නන්ගෙන් ඉල්ලා සිටියේ, තමන් සහ රජය සතුව තිබූ "නවතම තොරතුරු" කෙරෙහි "විශ්වාසය" තබන ලෙස ය.
කමේනිගේ මරණය පිළිබඳ පුවත "පදනම් විරහිත කටකතා" ලෙස ඔහු ප්‍රතික්ෂේප කළ අතර, එය "ඉක්මනින් හෙළිදරව් වනු ඇත," යනුවෙන් පැවසුවේ ය.
ඉරාන රාජ්‍ය මාධ්‍ය කමේනිගේ මරණය වාර්තා කළේ, ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ බව ප්‍රකාශ කර පැය කිහිපයකට පසු, එනම් පසුදා උදෑසන ය.
ඉරානය තුළ පුද්ගලයින් 1,200කට වැඩි පිරිසක් මිය ගොස් ලෙබනනය සහ ගල්ෆ් අරාබි රාජ්‍යයන් දක්වා ව්‍යාප්ත වූ යුද්ධයේ ආරම්භයේ සිට ඉරාන රාජ්‍ය මාධ්‍ය සත්‍යය ප්‍රබන්ධ සමග මුසු කර සිදුවීම්වල නිල විස්තරයක් තම දේශීය ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කරමින් සිටියි.
මිලියන සංඛ්‍යාත ඉරාන වැසියන් විදේශීය රටවල සිට ක්‍රියාත්මක වන පර්සියානු භාෂාවෙන් සන්නිවේදනය කෙරෙන චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා නැරඹුව ද, ස්වාධීන තොරතුරු ලබා ගැනීම අසීරු විය හැකි ය. ඉන්ටර්නෙට් විසන්ධි කිරීම්, වාරණයන් සහ නාලිකා සීමා කිරීම් හේතුවෙන් නොසන්සුන්තා සහ ගැටුම් පවතින අතරතුර ඉරාන වැසියෝ බාහිර ලෝකයෙන් බොහෝදුරට හුදකලා වී සිටිති.
යුද්ධය පිළිබඳ ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාකරණයේ පළමු සතිය බීබීසී විසින් අධ්‍යයනය කරන ලදී. එම වාර්තා, සිවිල් වැසියන්ගේ දුක් වේදනා, "සතුරන්ට" එරෙහිව පළිගැනීමේ ඉල්ලීම් සහ ඉස්ලාමීය ජනරජයට සහය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින පණිවිඩ කෙරෙහි අවධානය යොමු කර ඇති බව සොයා ගන්නා ලදී. ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් පහර දුන්, හමුදා සහ රජයේ ස්ථාන පිළිබඳ ආවරණය ඉතා අල්ප විය.
සාවද්‍ය තොරතුරු සඳහා උදාහරණ ද අපට හමු විය.
ඉරානයේ මාධ්‍ය යාන්ත්‍රණය
මාධ්‍ය නිරීක්ෂණ ආයතනයක් වන 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' (Reporters Without Borders) පවසන පරිදි, ඉරානය යනු මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලොව පවතින වඩාත් ම මර්දනකාරී රටවලින් එකකි.
ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටුවන ලද 1979 විප්ලවයේ සිට, සියලු ම මාධ්‍ය දැඩි සීමාවන් යටතේ ක්‍රියාත්මක වේ. බීබීසී පර්සියානු සේවය ඇතුළු බටහිර රටවල් පදනම් කර ගත් සහ පර්සියානු භාෂාවෙන් ක්‍රියාත්මක බොහෝ ප්‍රවෘත්ති ආයතනවලට රට තුළ සිට වාර්තා කිරීම තහනම් කර ඇත.
රජයේ ප්‍රධාන මාධ්‍ය වේදිකා වන්නේ රූපවාහිනිය සහ රේඩියෝව වුව ද, ඒවා පුවත් වෙබ් අඩවි මෙන් ම Instagram, Telegram සහ X වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද ක්‍රියාත්මක වේ. ඉරානය තුළ සිට මෙම සමාජ මාධ්‍ය වේදිකාවලට පිවිසීම සඳහා සාමාන්‍යයෙන් VPN (Virtual Private Network) භාවිත කළ යුතු වේ.
විශේෂයෙන් ම ඉන්ටර්නෙට් විසන්ධි කර ඇති අවස්ථාවලදී, එරට වෙසෙන ජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා පවතින ප්‍රධානතම මූලාශ්‍රය බවට පත්ව ඇත්තේ මෙම මාධ්‍ය යාන්ත්‍රණය යි.
"ඔවුන් ඉදිරිපත් කරන කතාවක් තිබෙනවා," විට්නස් මානව හිමිකම් සංවිධානයේ මහ්සා අලිමර්දානි පවසයි. "ඒ තමයි ඔවුන් සම්පූර්ණයෙන් ම ජයග්‍රාහී බව සහ ඔවුන්ගේ හමුදාව ඉතා ශක්තිමත් බව,'' ය.
ඉරාන හමුදා ඇමෙරිකානු හමුදා සිය ගණනක් මරා දැමූ හෝ තුවාල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කර ඇති අතර, එමගින් සතුරු පාර්ශවයේ තුවාලකරුවන්ගේ සංඛ්‍යාව අතිශෝක්තියෙන් දක්වා ඇත.
මාර්තු 03 වන දින, ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට සම්බන්ධ අර්ධ රාජ්‍ය පුවත් ඒජන්සියක් වන තස්නිම් පුවත් සේවය වාර්තා කළේ, යුද්ධයේ පළමු දින දෙක තුළ එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 650 දෙනෙකු මියගොස් ඇති බව ය. එය ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ ප්‍රකාශකයෙකු උපුටා දක්වා තිබිණි.
ඉන්දියාව, තුර්කිය සහ නයිජීරියාව වැනි රටවල ගෝලීය ප්‍රවෘත්ති ආයතන මේ පිළිබඳ වාර්තා කර තිබිණි.
එම අවස්ථාව වන විට පෙන්ටගනය එක්සත් ජනපද සොල්දාදුවන් හය දෙනෙකුගේ මරණය තහවුරු කර තිබිණි. මාර්තු 13 වන දින, එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා අතිරේක එක්සත් ජනපද සේවා සාමාජිකයින් හත් දෙනෙකුගේ මරණය තහවුරු කළේ ය.
යථාර්ථය විකෘති කිරීම
රාජ්‍ය මාධ්‍ය ප්‍රචාරණය ඉදිරියට ගෙන යාමට නව තාක්‍ෂණය ද උපකාරී වේ.
පසුව ඉවත් කරන ලද ෆේස්බුක් සටහනක, රජය විසින් මෙහෙයවනු ලබන ඉංග්‍රීසි භාෂාවෙන් විකාශන කටයුතු සිදු කෙරෙන ප්‍රවෘත්ති නාලිකාවක් වන Press TV මගින් අහසට නැගෙන දුම් වලාවන් ද සමගින් ගිනි ගනිමින් පැවැති ගොඩනැගිල්ලක වීඩියෝවක් පළ කර තිබිණි.
"ඉරාන ප්‍රහාරයෙන් පසු බහරේනයේ උස් ගොඩනැගිල්ලකින් දුම් රොටු ඉහළට නැගේ,'' එහි විස්තරයේ සඳහන් විය.
කෙසේ වෙතත්, වීඩියෝව සමීපව බැලීමේදී මෝටර් රථ දෙකක් එකකට ඒකාබද්ධ වන ආකාරය වැනි අසාමාන්‍ය දේවල් දක්නට ලැබිණි. මෙයින් ඇඟවුණේ වීඩියෝව ව්‍යාජ එකක් බවත් AI භාවිතයෙන් නිර්මාණය කර ඇති බවත් ය.
"යුද ප්‍රචාරණය සඳහා AI භාවිත කිරීම අලුත් දෙයක් නොවේ. නමුත් සත්‍යවාදී යැයි ප්‍රසිද්ධ නොවූවත් විශාල රාජ්‍ය ප්‍රවෘත්ති කණ්ඩායම් පවා ව්‍යාජ දේවල් සඳහා AI භාවිත කිරීම කැපී පෙනෙන දෙයක්'' එක්සත් රාජධානිය පදනම් කරගත් Strategic Dialogue චින්තන පර්ශද ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ බ්‍රෙට් ෂාෆර් පවසයි.
''ඉරාන රාජ්‍ය මාධ්‍ය නැවත නැවත මෙවැනි deepfakes භාවිත කිරීමෙන් පෙනී යන්නේ, මෙය අත්වැරදීමකින් සිදුවන්නක් නොව ඔවුන්ගේ යුද වාර්තාකරණයේ ම අංගයක් බව යි.''
සමාජ මාධ්‍ය පුරා පැතිරී ඇති යුද්ධය පිළිබඳ බොහෝ AI නිර්මාණ මෙන් ම, මේවා කවුරුන් කොහේදී නිර්මාණය කළේ ද යන්න පැහැදිලි නොමැත. කෙසේ වෙතත්, යුද්ධය ආරම්භ වූ දා සිට රාජ්‍ය මාධ්‍ය තමන්ගේ මතවාදයන් ප්‍රචාරය කිරීම සඳහා මෙවැනි AI රූපරාමු භාවිත කරන තවත් උදාහරණ බීබීසීය විසින් නිරීක්ෂණය කර තිබේ. මෙම රූපරාමු බොහොමයක් අතිශයින් ම යථාර්ථවාදී නොවන අතර නොමග යැවීමට වඩා අතිශෝක්තියෙන් වර්ණනා කිරීම අරමුණු කරයි.
ධවල මන්දිරය සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද නිරන්තරයෙන් ම අතිශෝක්තියෙන් පෙන්නුම් කෙරෙන AI මගින් නිපදවූ ඡායාරූප හෝ වීඩියෝ පළ කරයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද මෑතකදී තම Instagram ගිණුම ඔස්සේ තමන් ට්‍රම්ප් සහ යුද සමයේ බ්‍රිතාන්‍ය අගමැතිව සිටි අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් ජයග්‍රාහී ඉරියව්වකින් නිරූපණය කරන AI මගින් ජනනය කරන ලද ඡායාරූපයක් පළ කළේ ය. මෙම සටහන සමාජ මාධ්‍ය ජාලයේ collaboration feature හරහා පුවත් ආයතනයක් විසින් එක් කරනු ලැබ තිබූ එකකි.
අසත්‍ය තොරතුරු සමග සත්‍ය කරුණු ස්වල්පයක් මිශ්‍ර කිරීම
ඉරානයේ අසත්‍ය තොරතුරු සමග සත්‍ය තොරතුරු ස්වල්පයක් මිශ්‍ර කර ඉදිරිපත් කිරීමේ ක්‍රියාකලාපය රට තුළ සහ පිටත සිටින, පාලන තන්ත්‍රය විවේචනය කරන බොහෝ දෙනෙකු තුළ දැඩි සැකයක් ඇති කිරීමට හේතු වී තිබේ.
පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් සහ කාර්ය මණ්ඩලයේ 160කට වැඩි පිරිසක් මිය ගිය බව මාර්තු 03 වන දින ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ විට ස්වාධීන විශේෂඥයින් පැවසුවේ, එම ප්‍රහාරය ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර ගත් එක්සත් ජනපද මෙහෙයුමක් විය හැකි බව ය. ඔවුන් සමූහ අවමංගල්‍යයක ගුවනින් ලබා ගත් ඡායාරූපයක් ද බෙදා හැර තිබිණි. රජයේ ප්‍රතිවිරුද්ධ මතධාරීන් පැවසුවේ, එය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර තිබූ බව ය.
නමුත් ඡායාරූපය සත්‍ය එකකි. අප එහි භූගෝලීය පිහිටීම පරීක්ෂා කළ අතර, එය පාසලේ සිට කිලෝමීටර් 3.7ක් (සැතපුම් 2.3ක්) පමණ දුරින් පිහිටි සුසාන භූමියකට අයත් බව තහවුරු විය. එහි ඇති ගස්, මාර්ග පද්ධතිය සහ අසල ඇති ගොඩනැගිල්ල චන්ද්‍රිකා ඡායාරූප සමග සැසඳෙන බව අපට තහවුරු කර ගත හැකි විය.
අවමංගල්‍ය උත්සවයට පසු දින ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූපවල අලුතින් හෑරූ මිනීවළවල් ද දක්නට ලැබේ. ඊට පෙර දින එම භූමිය හිස්ව පැවතිණි.
''අපට එකවර සත්‍යයන් දෙකක් අල්ලාගෙන සිටීමට සිදුවනවා,'' විට්නස්හි මහ්සා අලිමර්දානි පවසයි. ඉරාන පාලන තන්ත්‍රය තමන් අතින් මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවූ විට බොහෝවිට සාක්ෂි සඟවන නමුත්, යුද සමයේදී සිවිල් වැසියන්ට සිදුවන හානි ලේඛනගත කිරීම සඳහා විශාල ආයෝජනයක් සිදු කරයි.
එම ලේඛනගත කිරීම් රජයේ ප්‍රචාරණ කටයුතු සහ යුද මතවාදයන් සඳහා යොදාගත හැකි වුව ද, ඒ නිසා ම ඒවා ස්වයංක්‍රීයව අසත්‍ය තොරතුරු බවට පත් නොවන බව ඇය පවසයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව සලකා බැලීමේදී, සාධාරණ සැකයකින් පසුවිය යුතු බව අලිමර්දානි පවසයි.