ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මේක අපේ අන්තිම අලුත් අවුරුද්ද වෙන්න මට ඕන නෑ': යුද ගිනි මැද ඉරානය පර්සියානු අලුත් අවුරුද්දට සූදානම් වන අයුරු
- Author, ගොන්චේ හබිබියාසාඩ්
- Role, බීබීසී පර්සියානු සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 6
ආරක්ෂක හේතූන් මත මෙහි අදහස් දක්වන්නගේ නම් ගම් වෙනස් කර ඇත.
මීට පෙර පර්සියානු අලුත් අවුරුදු උත්සවය වන නෝරූස් උදාවන දිනවලදී, ඉරාන වැසියන් සාමාන්‍යයෙන් ඊට ඉතා උද්‍යෝගයෙන් සූදානම් වේ.
"අපි හරිම කාර්යබහුල වෙනවා අවුරුද්දට සූදානම් වෙද්දී ... ගෙවල් පිරිසිදු කරනවා, අලුත් ඇඳුම් වගේම රසකැවිලි සහ කෙටි ආහාර වර්ග ගන්න සාප්පු සවාරි යනවා" ටෙහෙරානයේ ඊසාන දෙසින් පිහිටි ඩමාවන්ඩ් හි වෙසෙන 50 හැවිරිදි කාන්තාවක් වන මීනා පවසයි.
නමුත් ඇය කඳුළු පිරි දෑසින් යුතුව පවසන්නේ මෙම වසර වෙනස් වනු ඇති බවයි.
"ඒත් මේ අවුරුද්ද? හැම දවසක්ම හරිම දිගයි කියලා දැනෙනවා. මට වෙලාව ගැන අදහසක් නැතිවෙලා" මීනා පවසයි.
"නව දිනය" යන අර්ථය දෙන "නෝරූස්" යනු, සොබාදහමේ නැවත ඉපදීම සහ ඉරානයේ සහ අනෙකුත් රටවල නව වසරේ ආරම්භය සනිටුහන් කරන වසන්ත විෂුවය එළැඹෙන සාම්ප්‍රදායික උත්සවයකි. වසර 3,000කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම උත්සවය ලොව පැරණිතම උත්සවවලින් එකකි.
මෙම වසරේදී එය මාර්තු 20 වන දිනට යෙදී ඇති අතර ඊට පසුදින ඉරාන අලුත් අවුරුද්දේ ආරම්භය සිදුවේ.
නමුත් මේ වසරේ නෝරූස් උත්සවය රටේ බොහෝ දෙනෙක් යුද්ධයකට මුහුණ දුන් පළමු අවස්ථාව වනු ඇත.
පෙබරවාරි 28 වනදා සිට ඉරානය එක්සත් ජනපදයේ බෝම්බ හෙලීම් සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්ව තිබේ.
සිවිල් වැයියන් 1,354 දෙනෙකු ඇතුළුව ඉරානයේ පුද්ගලයින් 3,114 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ අතර අවම වශයෙන් ළමුන් 207 දෙනෙකු පමණ සිටින බවත් ඉරානයේ සිටින එක්සත් ජනපදය පදනම් කරගත් ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් කණ්ඩායමක් වාර්තා කරයි.
ඊශ්‍රායලයට සහ අමෙරිකාවේ මිත්‍ර ගල්ෆ් රටවල් වෙත ප්‍රහාර දියත් කරමින් ටෙහෙරානය ප්‍රතිචාර දක්වා තිබේ.
සිය පවුල් සමගින් ටෙහෙරානයේ සිට ඩමාවන්ඩ් වෙත පැමිණ සිටින මීනාගේ පුත්‍රයා වන අමීර් පවසන්නේ දැන් නෝරූස් බොහෝ සෙයින් වෙනස් බව හැඟෙන බවයි.
''යුද්ධයත් එක්ක මිනිස්සුන්ට එයාලගේ රස්සාවල් නැතිවෙමින් තිබෙන්නේ. අපේ රටේ යටිතල පහසුකම් ටික ගැන තමයි මට ලොකුම කණගාටුව තියෙන්නේ''
"මේ යන විදිහට ඉරානයෙන් වැඩි ප්‍රමාණයක් ඉතිරි වෙන එකක් නැතිවෙයි. මට මේක අපේ අවසාන නෝරූස් එක වෙන්න ඕනේ නෑ.''
ඉරාන වැසියන්ට නෝරූස් යනු ඔවුන්ගේ ඉතිහාසය, ජාතිකත්වය සහ සම්ප්‍රදාය නියෝජනය කරන්නකි. පර්සියානුවන්, පාර්සීන්, කුර්දිවරුන්, ආර්මේනියානුවන්, අසර්බයිජානුවන්, ටජික්වරුන්, කසකස්වරුන්, උස්බෙක්වරුන් සහ අනෙකුත් සංස්කෘතීන් මෙම උත්සවය සමරන අතර ඔවුන්ටම ආවේණික වූ සම්ප්‍රදායන් ඒ වටා පවතී.
ඉරාන වැසියන් අවසන් වරට යුද සමයකදී නෝරූස් සැමරූවේ 1980 දශකයේදී වන අතර ඒ ඉරාකය සමඟ වසර 08 ක් පුරා පැවැති ගැටුමේදීය.
පැරණි වසරේ අවාසනාව අතුගා දමා අලුත් ආරම්භයක් පිළිගැනීම සඳහා උත්සවයට පෙර නිවෙස් ඉතා හොඳින් පිරිසිදු කිරීම ඇතුළු බොහෝ සම්ප්‍රදායන් සමග මෙම උත්සවය උදාවේ.
අලුත් අවුරුද්ද උදාවෙන කොට රූපවාහිනියෙන් ඇහෙන අවුරුදු උදාවේ නිවේදනය මිසයිල සහ ඩ්‍රෝන යානාවල ශබ්දය සමඟ මිශ්‍ර වෙයිද කියලා මම දන්නේ නැහැ... ඒත් මම ඇත්තටම ප්‍රාර්ථනා කරන්නේ එහෙම වෙන්න එපා කියලයි" මීනා පවසයි.
සති දෙකක කාලයක් පවතින නෝරූස් නිවාඩු සමය තුළ, ජනතාව සාමාන්‍යයෙන් එකිනෙකාගේ නිවෙස්වලට යති.
නමුත් දරුණුතම ප්‍රහාර එල්ල වූ ටෙහෙරානයට ආපසු යාමට ඇතැමෙකුට අවශ්‍ය නැත.
"මේ අවුරුද්දේ නෑගම් යන එක හරිම සීමිතයි. අපිත් අවතැන් වෙලා, ටෙහෙරානය අතහැරලා ටිකක් ආරක්ෂිත තැනකට ආවා," මීනා පවසයි.
"නරක හීනයක් දැකලා ඇහැරුණා වගේ මේ හැම දෙයක්ම අපේ මතකයෙන් මැකිලා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා."
සාමාන්‍යයෙන් නෝරූස් උත්සවයට පෙර ගතවන අවසන් දින කිහිපයේදී ඉරානය පුරා වෙළඳසැල්, සාප්පු සංකීර්ණ සහ වීථි සාප්පු සවාරි ජන ජනතාවගෙන් පිරී පවතී.
නමුත් මෙම වසරේදී එම උද්‍යෝගය සහ ජනතාවගේ ඝෝෂාව පෙර පරිදි දක්නට නැත.
"ඉස්සර නෝරූස් උත්සවයට ඕන දේවල් හොයා ගන්න එක හරිම පහසුයි. දැන් ඔයා කොහේ ගියත්, ගුවන් ප්‍රහාරයකට අහුවෙයිද නැද්ද කියලා බයෙන් තමයි ඉන්න වෙන්නේ" ටෙහෙරානයේ පදිංචි 20 හැවිරිදි කාන්තාවක වන පර්මිස් පවසයි.
පර්මිස් මාර්තු 17 වනදා ඇගේ නියපොතු සකසා ගැනීමට නිවසින් පිටතට පැමිණියාය. ජනතාව නෝරූස් උත්සවයට අලංකාරවත් ලෙස පෙනී සිටීමට සූදානම් වන බැවින් සාමාන්‍යයෙන් මෙම කාලසීමාවේදී රූපලාවන්‍යාගාර ඉතා කාර්යබහුල වේ.
''මට හිතෙනවා සමහරු මම වගේම මේ හැම දෙයක්ම මැද්දේ වුණත් සුපුරුදු වැඩ කටයුතු කරගෙන යනවා කියලා. මම සැලෝන් එකේ ඉන්නකොට විශාල පිපිරුම් හඬක් ඇසුණා, ඒත් කවුරුත් ඒ ගැන ගාණකටවත් ගත්තේ නෑ," ඇය පවසයි.
මරියම් නමැති තවත් කාන්තාවක් පවසන්නේ, ඇතැම් පිරිසක් කිසිඳු සැලකිල්ලකින් තොරව උත්සවයට සහ එහි ප්‍රධාන අංගය වන 'හෆ්ට් සින්' මේසය සඳහා සූදානම් වන බවයි.
"හෆ්ට් සින් සඳහා අවශ්‍ය දේවල් මිලදී ගන්න අය හිටියා. මම මල් සහ සමහර වීදි වෙළෙන්දන් දැක්කා. ඒත් ඒවා කලින් අවුරුදුවල වගේ නම් නෙමෙයි" ඇය පැවසුවාය.
''ඒ වගේම මේක අවුරුද්දකට එක සැරයක් එන සාම්ප්‍රදායික උත්සවයක් නේ, ඉතිං අපි ඒක සැමරිය යුතුමයි. මම සමහර දේවල් මිලදී ගත්තා, තවත් සමහර දේවල් නිවසේ තිබුණා. මම හෙට හෆ්ට් සින් මේසය හදන්න තමයි හිතාගෙන ඉන්නේ."
මේ අතර, රට තුළ යුද්ධය අඛණ්ඩව සිදුවනවාට සහය දක්වන පිරිසක්ද සිටියි.
"නෝරූස් වලින් තියෙන ප්‍රයෝජනය මොකක්ද? ඉස්ලාමීය සමූහාණ්ඩුව දිගටම බලයේ හිටියොත්, අපට ඉවරයක් නැති කරදර එක්ක තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. නෝරූස් හැමදාම තියෙනවා, එනවා, යනවා. මේ වතාවේ ඉස්ලාමීය සමූහාණ්ඩුව යා යුතුමයි," ටෙහෙරානයේ පදිංචි 30 හැවිරිදි රම්ටින් පවසයි.
ඔහුගේ මව වන ටෙහෙරානයේම පදිංචිව සිටින කියන් පවසන්නේ "පූජකයින් නැති වනවා නම් නිවස ඇගේ හිස මතට කඩා වැටුනද" ඇය ඊට කැමති බවයි.
"මටත් දැනෙන්නේ ඒ විදියටම තමයි. හැමදේම විනාශ වෙලා ගියත්, මම තවමත් හිතන්නේ ඉස්ලාමීය සමූහාණ්ඩුව නැති වෙලා යන්න ඕනේ. අපට නෝරූස් වැඩක් නැහැ, අපේ ගෙදර මේසයේ හෆ්ට් සින් එකක්වත් නැහැ."
ශීත කාලයේ අධික සීතල පහව ගොස්, වසන්තයේ බලාපොරොත්තු සහගත පැමිණීමට මග පාදන අවස්ථාව නෝරූස් උත්සවයෙන් සනිටුහන් කරයි. සාමාන්‍යයෙන් ජනතාව තමන්ට සහ තම ආදරණීයයන්ට නව වසරේ නිරෝගීභාවය, සතුට සහ නව ආරම්භයක් ප්‍රාර්ථනා කරයි.
ටෙහෙරානයේ පදිංචි අවුරුදු 20 හැවිරිදි ශිරින් නමැති තරුණියක පවසන්නේ, නෝරූස් උත්සවය සමඟ යුද්ධය ද පැමිණීම නිසා ඇයට "විශාල දුකක් දැනෙන" බවයි.
''සමහර කඩසාප්පු ඇරලා තියෙනවා, ඒත් වෙනදා වගේ පරිසරයේ නෝරූස් උත්සවයේ සුවඳ දැනෙන්න නැහැ.''