ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයකට එල්ලවූ ප්‍රහාරයෙන් පසු තෙල් බැරලයක මිල ඩොලර් 110 ඉක්මවයි

    • Author, රේචල් ක්ලන්
    • Role, ව්‍යාපාරික වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියක් ආශ්‍රිතව පිහිටි ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු තෙල් මිල බැරලයකට ඩොලර් 110 (පවුම් 82.78) ඉක්මවා ගියේය.

බොරතෙල් මිලෙහි මිණුමක් ලෙස සලකන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල බ්‍රහස්පතින්දා මුල් භාගයේ ආසියානු වෙළෙඳපොළේ ඩොලර් 112 ක් වූ අතර එය අඟහරුවාදා මිලට වඩා 5% කට වඩා වැඩිය. අනතුරුව මිල සුළු වශයෙන් පහත වැටුණි.

එක්සත් රාජධානියේ ගෑස් මිල ද 6% කින් ඉහළ ගිය අතර ඒකකය මිල පැන්ස 143.53ක් වූ අතර පසුව එය නැවත පැන්ස 140 ක් දක්වා පහත වැටුණි.

ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියේ ඛනිජ රසායනික සංකීර්ණයට පහර දුන් බවට වාර්තා වීමෙන් පසුව මෙම මිල ඉහළ යෑම සිදුවිය. ඉරානයේ තර්ජනය කිරීම් වලින් පැය කිහිපයකට පසු, සිය රාස් ලෆාන් කාර්මික පරිශ්‍රයට "විශාල හානියක්" සිදුවී ඇති බව කටාර් රාජ්‍යයද වාර්තා කර සිටියේය.

තෙල් සහ ගෑස් යන දෙකෙහිම මිල ගණන් ඉහළ ගියද, ගැටුමේ පෙර පැවති ඉහළම මට්ටම්වලට වඩා තවමත් පහළින් පැවතුණි.

මාර්තු 9 වන දින තෙල් බැරලයක මිල ඩොලර් 116.78 ක් වූ අතර, මාර්තු 3 වන දින එක්සත් රාජධානියේ ගෑස් ඒකකයක මිල පැන්ස 162.55 ක් විය.ෙ

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සියක් වන තස්නිම් එජන්සියට අනුව, ඛනිජ රසායනික සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කර ඇති බව ඉරාන ඛණිජ තෙල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

ඉරාන හමුදාව අනතුරු ඇඟවූයේ තම බලශක්ති මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් "තීරණාත්මක ක්‍රියාමාර්ගයක්" ගන්නා බවයි..

"කලින් අනතුරු ඇඟවූ පරිදි, අපේ රටේ ඉන්ධන, බලශක්තිය, ගෑස් සහ ආර්ථික යටිතල පහසුකම් ඇමෙරිකානු-සියොන්වාදී සතුරා විසින් පහර දුන්නොත්, සතුරාට එරෙහි බලවත් ප්‍රතිප්‍රහාරයකට අමතරව, අපි එම ආක්‍රමණයේ මූලාරම්භයට ද දැඩි ලෙස පහර දෙනවා," යනුවෙන් තස්නිම් විසින් ප්‍රකාශයට පත් කරන ලද හමුදාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

"ප්‍රහාර එල්ල කරන රටවල ඉන්ධන, බලශක්තිය සහ ගෑස් යටිතල පහසුකම් ඉලක්ක කිරීම නීත්‍යානුකූල යැයි අපි සලකන අතර හැකි ඉක්මනින් දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන්නෙමු."

කටාර් රාජ්‍යය 'නොත් ඩෝම්' ලෙස හඳුන්වන ගෑස් නිධියේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන ද ක්‍රියාත්මක කර තිබේ.

නමුත් ලෝකයේ ද්‍රව ස්වභාවික වායුවෙන් පහෙන් එකක් නිපදවන කටාර් රාජ්‍යය, ගැටුමට ප්‍රතිචාර වශයෙන් මාර්තු මාසයේ මුලදී නිෂ්පාදනය නතර කර තිබිණි.

කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මජෙඩ් අල් අන්සාරි පැවසුවේ බලශක්ති මධ්‍යස්ථානවලට එරෙහි ප්‍රහාර "ගෝලීය බලශක්ති ආරක්ෂාවට තර්ජනයක්" බවයි.

මෙරට වේලාවෙන් රාත්‍රී 11.45ට පමණ කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ "ඉරාන ප්‍රහාරයක් හේතුවෙන් රාස් ලෆාන් ප්‍රදේශයේ ඇති වූ ගින්නකට" ප්‍රතිචාර දක්වමින් සිටින බවයි. කටාර්හි බලශක්ති සමාගමක් වන QatarEnergy පසුව පැවසුවේ එම ස්ථානයට "විශාල හානියක්" සිදුවී ඇති බවයි.

ටික වේලාවකට පසු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසුවේ "රාස් ලෆාන් හි ගින්න පාලනය කළ බවත්, කිසිදු පුද්ගලයෙකුට අනතුරක් නොවූ බවත්" ය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් දකුණු පාර්ස්හි ගෑස් නිධිය ආශ්‍රිත මධ්‍යස්ථාන විනාශ වූ බව වාර්තා වීමෙන් පසු "දැඩි ක්‍රියාමාර්ග" ගන්නා බවට ඉරානය අනතුරු ඇඟ වූ අතර ඔවුන් ඉලක්ක කිරීමට ලැයිස්තු ගත කළ ස්ථාන අතර රාස් ලෆාන් පරිශ්‍රයද විය.

'අස්ථාවර වූ බලශක්ති වෙළඳපොළ'

ඒ.ජේ. බෙල් හි මූල්‍ය විශ්ලේෂණ ප්‍රධානී ඩැනී හියුසන් පැවසුවේ ප්‍රහාරය සහ ඉරානයේ ප්‍රතිප්‍රහාරය "නැවත වරක් වෙළෙඳපොල උණුසුම ඉහළ නැංවීමට සහ තෙල් මිල මත නව ඉහළ පීඩනයක් ඇති කිරීමට උපකාරී වූ" බවයි.

"හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවය වැළක්විය හැකි විසඳුමක් මේ අවස්ථාවේ දී තරමක් දුරස්ථ බව පේනවා, එහි ප්‍රගතියක් ඇති වන තුරු, බලශක්ති වෙළඳපොළවල් අස්ථාවරව පවතීවි," ඇය තවදුරටත් පැවසුවාය.

තෙල් මිල ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය බදාදා කියා සිටියේ, ඇමෙරිකානු වරායන් අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇමෙරිකාවේ නිෂ්පාදිත නැව් පමණක් භාවිතා කළ හැකි බව පවසන 1920 නීතියක් වන ජෝන්ස් පනත අත්හිටුවන බවයි.

නැව් තැනීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් නීති රීති දින 60කෙට අත්හැරීම මගින්, ඇමෙරිකාවේ නිෂ්පාදිත නොවන නැව් දැන් භාවිතා කළ හැකි බැවින්, "තෙල්, ස්වාභාවික වායු, පොහොර සහ ගල් අඟුරු වැනි අත්‍යවශ්‍ය සම්පත් නිදහසේ ගලා යාමට" ඉඩ සලසන බව එක්සත් ජනපද මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසීය.

කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ සමුද්‍රීය කණ්ඩායම් පැවසුවේ මෙහි බලපෑම අවම බවයි. තෙල් මිල ඉහළ යාම පිටුපස නැව්ගත කිරීමේ පිරිවැය නොව තෙල් මිල ගණන් ඇති බව ඔවුහූ සඳහන් කළහ.

පෙර නොවූ විරූ ලෙස තෙල් සංචිත මුදා හැරීම ඇතුළුව, මිල පීඩනය ලිහිල් කිරීමට ලෝක නායකයින් මීට පෙර ගත් උත්සාහයන්, තෙල් මිල අඩු කිරීමට එතරම් බලපෑමක් කර නොමැති බව විශේෂඥයෝ පවසති.

මේ අතර, දේශීය සැපයුම් ඉහළ නැංවීම සඳහා ඉරානය ඉරාකයට ගෑස් ප්‍රවාහනය ද අත්හිටුවා ඇති බව ජ්‍යෙෂ්ඨ ඉරාක නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

ගෑස් අපනයනය කරන රටවල සංසදයේ දත්ත වලට අනුව, ඉරානයේ ගෑස් සැපයුමෙන් අතිමහත් බහුතරයක් - 94% ක් - දේශීය වශයෙන් භාවිතා වේ.