ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් ජනපදය ඉරානයේ කාර්ග් දූපත දෙස ඇස ගසාගෙන සිටින්නේ ඇයි?
- Author, රොබට් ග්‍රීනෝල්, ඇලිස් ඩේවිස්, ෆ්‍රෑන්ක් ගාර්ඩ්නර් - බීබීසී ආරක්ෂක වාර්තාකරු, රියාද් සිට
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඉරාන වෙරළට ඔබ්බෙන් පිහිටි කුඩා දූපතකට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. මෙම දූපතේ ප්‍රධාන තෙල් පර්යන්තයක් පවත්වාගෙන යන අතර එය ඉරාන ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස සැලකේ.
මාර්තු 29 වන දා ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් කියා සිටියේ ඉරානයේ තෙල් "ලබා ගැනීමට" අවශ්‍ය බවත් කාර්ග් දූපත අත්පත් කර ගැනීම ගැන සලකා බලන බවත් ය. නමුත් එය "අපිට ටික කාලයක් [කාර්ග් දූපතේ] සිටිය යුතු" මෙහෙයුමක් බව ඔහු පැවසීය.
ජනාධිපතිවරයා කාර්ග් දූපතේ හමුදා පහසුකම් "සම්පූර්ණයෙන් ම විනාශ කර ඇති" බව පැවසූ නමුත්, එක්සත් ජනපදය එහි තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර ගැනීමෙන් වැළකී සිටි බව ඔහු පැවසීය.
මේ මාසය මුලදී, මේ කාරණය පිළිබඳව මූලාශ්‍ර හතරක් උපුටා දක්වමින් ඇමරිකානු ප්‍රවෘත්ති ආයතනයක් වන ඇක්සියෝස් පැවසුවේ, ඉරාන වෙරළට දකුණින් පිහිටි ලෝකයේ වැදගත් ම නැව් මාර්ගවලින් එකක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කරන ලෙස ඉරානයට බලපෑම් කිරීම සඳහා [එක්සත් ජනපදය] දූපත අත්පත් කර ගැනීමට හෝ අවහිර කිරීමට සැලසුම් සලකා බලමින් සිටින බව යි.
එක්සත් ජනපද හමුදා යම් අවස්ථාවක දී කාර්ග් දූපත අත්පත් කර ගැනීමට උත්සාහ කරනු ඇතැයි කසුකුසුවක් ද පවතියි.
එය අල්ලා ගැනීම ඉරානයේ තෙල් අපනයනය නැවැත්වීම පමණක් නොව, ප්‍රධාන භූමියට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට පදනමක් ද ලබා දිය හැකි ය.
බීබීසී සිකියුරිටි බ්‍රීෆ්හි ආරක්ෂක විශ්ලේෂක මිකී කේ පවසන පරිදි, මේ දූපත අත්පත් කර ගැනීම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ආර්ථික ජීවනාලිය කපා හරිනු ඇති අතර හමුදා ක්‍රියාකාරකම් සිදුකිරීමේ හැකියාවට එය බලපානු ඇත.
කාර්ග් දූපත ඉරානයට වැදගත් වන්නේ ඇයි?
කාර්ග් දූපත යනු ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් (කිලෝමීටර් 24ක්) පමණ ඔබ්බෙන් පිහිටි කුඩා, පාෂාණමය දූපතකි.
ප්‍රමාණයෙන් කුඩා වුවත් එය ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වල වැදගත්ම අංගයකි.
උතුරු ගල්ෆ් කලාපයේ මෙම කුඩා නමුත් තීරණාත්මක දූපතට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල කිරීම ඉරාන ආර්ථිකයේ හරය ඉලක්ක කර ගැනීමක් වැනි ය.
ඉරානයේ බොරතෙල් වලින් 90% ක් පමණ අපනයනය කරනු ලබන්නේ මේ දූපතේ පර්යන්තයක් හරහා ය.
මෙම නල මාර්ග ඉලක්ක කර ගැනීමේ හැකියාව ගැන ට්‍රම්ප් විශේෂයෙන් සඳහන් කර ඇතත්, ඉරාන ආර්ථිකයට වන දිගුකාලීන හානිය වැළැක්වීම සඳහා ඔහු මෙතෙක් එසේ කිරීමෙන් වැළකී සිටින බව පැවසීය.
"අපට ඒක විනාඩි පහක දැනුම්දීමකින් කරන්න පුළුවන්. ඒක ඉවරයි " ට්‍රම්ප් මාර්තු 16 වන දින පැවසීය. "එක සරල වචනයක් විතරයි, එතකොට නළ ටිකත් ඉවරයි. නමුත් ඒක නැවත ගොඩනගන්න බොහෝ කාලයක් ගත වෙයි."
සෑම දිනක ම, පර්යන්තය බොරතෙල් බැරල් මිලියන 1.3ක් පමණ හසුරුවන අතර, ඒවා ඉරානයේ ප්‍රධාන මුහුද යට ඇති ආකාර තුන වන අබූසාර්, ෆොරූසාන් සහ ඩෝරූඩ් සිට සංකීර්ණ දිය යට නල මාර්ග ජාලයක් හරහා ප්‍රවාහනය කරයි. එහි බැරල් මිලියන 18ක පමණ ගබඩා ධාරිතාවක් ඇති අතර, එය සාමාන්‍ය තත්ත්ව යටතේ දින 10 සිට 12 දක්වා අපනයනය සඳහා ප්‍රමාණවත් ය.
තෙල් ගැලුම් මිලියන 85ක් දක්වා රැගෙන යා හැකි ඉතා විශාල ඉන්ධන නෞකාවලට තෙල් පැටවීම සඳහා දූපතේ දිගු ජැටි වෙත ළඟා විය හැකි ය. ප්‍රධාන භූමියේ නොගැඹුරු වෙරළ තීරය මෙන් නොව, දූපතේ වෙරළ තීරය ගැඹුරු ජලයට ආසන්නව පිහිටා ඇත.
ඉන්පසු ටැංකි නැව් ගල්ෆ් හරහා ආපසු පැමිණ හෝමූස් සමුද්‍ර සන්ධියෙන් පිටතට පැමිණ ඉරාන තෙල්වල ප්‍රධාන ගැනුම්කරු වන චීනය වෙත පැමිණේ.
මාර්තු 13 ප්‍රහාරය ගැන ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය පැවසුවේ කුමක්ද?
මාර්තු 13 වන දින ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානය "මැදපෙරදිග ඉතිහාසයේ බලවත් ම බෝම්බ ප්‍රහාරයක් ක්‍රියාත්මක කර, ඉරානයේ කිරුළ වැනි කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයක් ම මුළුමනින් ම විනාශ කළ," බව පැවසුවේ ය.
"සදාචාරාත්මක හේතූන් මත දුපතේ ඉන්ධන යටිතල පහසුකම් අතුගා නොදැමීමට තෝරා ගත්," බව ඔහු තවදුරටත් පැවසීය.
"ඉන්ධන යටිතල පහසුකම්වලට නොව, එක්සත් ජනපද හමුදා කාර්ග් දූපතේ ඉරාන හමුදා ඉලක්ක 90කට වඩා ප්‍රහාර එල්ල කර ඇති," බව එක්සත් ජනපද මධ්‍යම හමුදා විධානය පැවසීය.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ දුපතේ තෙල් පහසුකම්වලට කිසිදු හානියක් සිදුවී නොමැති බව යි. ඇමරිකානු ප්‍රහාර ගුවන් ආරක්ෂක පද්ධති, නාවික කඳවුරක්, ගුවන් තොටුපළ පාලන කුළුණක් සහ හෙලිකොප්ටර් නවත්වන ස්ථානයක් ඉලක්ක කරගත් බව ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.
එරට හමුදාව අනතුරු ඇඟවූයේ එහි බලශක්ති පහසුකම්වලට පහර දුන්නොත්, එක්සත් ජනපදය සමග වැඩ කරන සමාගම් සතු තෙල් හා බලශක්ති යටිතල පහසුකම් "වහා ම විනාශ වී අළු ගොඩක් බවට පත් වනු ඇති," බව යි.
දූපතේ යටිතල පහසුකම් විනාශ කිරීමට හමුදා ක්‍රියාමාර්ග ගැනීම ඉරානයට දැඩි ලෙස හානිදායක වනු ඇත.
එය ගැටුමේ සැලකිය යුතු උත්සන්න වීමක් ද ඇති කරනු ඇත.
එමගින් ගෝලීය තෙල් මිල තවත් ඉහළ යැවීමට ඉඩ ඇති අතර ඉරානය මැද පෙරදිග පුරා ඉන්ධන යටිතල පහසුකම් වැඩි වැඩියෙන් ඉලක්ක කර ගැනීමට ද හේතු විය හැකි ය.
මාසයක යුද්ධයෙන් පසුව පවා, ඉරානය සිය ශක්තිය නැති කරගෙන නොමැති අතර තවමත් අඩු වියදම් නමුත් බලවත් පුපුරන සුළු ඩ්‍රෝන යානා රාශියක බලයක් පවතියි. එය ඉරානය සමීපයේ ඇති ගල්ෆ් රටවලට සහ නැව්වලට තර්ජනයකි.
මිලියන සංඛ්‍යාත ජනතාවකට පානීය ජලය සපයන ලවණ ඉවත් කිරීමේ කම්හල් වැනි වැදගත් පහසුකම් තෙක් ඉරානයට තම ප්‍රහාර පුළුල් කළ හැකි ය.
කාර්ග් දූපතේ ඉතිහාසය කුමක් ද?
කාර්ග් දූපත වසර 2,000කට වැඩි කාලයක් පුරා ගල්ෆ් කලාපයට උපායමාර්ගිකව වැදගත් වී ඇති අතර, එහි ස්වාභාවික ජල මූලාශ්‍ර එය වෙළඳාම සඳහා වටිනා මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති අතර, එහි ඉතිහාසය පර්සියානු අධිරාජ්‍යය දක්වා දිව යයි.
16 වන සහ 17 වන සියවස්වල පෘතුගීසි සහ ලන්දේසි පාලනය යටතේ පැවති මෙය 1900 ගණන්වල මුල් භාගයේදී උපරිම ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයක් පවත්වාගෙන ගියේ ය.
ඉන්පසුව, 1950 ගණන්වලදී ෂා මොහොමඩ් රෙසා පහ්ල්වී පාලන සමයේදී, හයිඩ්‍රොකාබන් ගබඩා කිරීමේ සහ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඉදිකිරීම් ආරම්භ වූ අතර, පසුව එය ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන ස්ථානය බවට පත්විය.
වර්ග කිලෝමීටර් 24 කින් යුත් මෙම දූපත 1960 ගණන්වල සිට ඉරානයේ තෙල් අපනයනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ඇමරිකානු තෙල් සමාගමක් වන ඇමෝකෝහි සහාය ඇතිව එහි යටිතල පහසුකම් සංවර්ධනය කරන ලදී. 1979 ඉස්ලාමීය විප්ලවය තෙක්, දූපතේ යටිතල පහසුකම්වලින් කොටසක් එහි ක්‍රියාත්මක වන ඇමරිකානු සමාගම් සතු විය.
අතිරේක වාර්තාකරණය: බීබීසී මුන්ඩෝ