ගල්ෆ් රටවල් ඉරානයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල නොකරන්නේ ඇයි?

    • Author, ලුයිස් බරූචෝ
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 7

එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමග පවතින යුද්ධයේ කොටසක් ලෙස ඉරානය ගල්ෆ් කලාපය හරහා අඛණ්ඩව මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිවලින් කොටසක් වන ඉරානයේ දකුණු පාර්ස් වෙත ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු බ්‍රහස්පතින්දා ඉරානය, කටාර්හි රාස් ලෆාන් බලශක්ති සංකීර්ණයට පහර දුන්නේ ය.

මේ දක්වා, තම රටවල් අඛණ්ඩව ඉලක්ක වුවත් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල නොකිරීමේ විකල්පය තෝරා ගැනීමට කටාර් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන් තීරණය කර තිබේ. ඔවුන් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින්නේ ඇයි? එමෙන් ම, ඔවුන් ප්‍රහාර එල්ල කිරීමටකට යොමු විය හැකි හේතු මොනවා ද?

ඉහළ අවදානම සහ සැලකිය යුතු ව්‍යාපාරික බලපෑම

පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී, ටෙහෙරානය වහා ම ප්‍රතිචාර දැක්වූයේ ඊශ්‍රායලයට එරෙහිව පමණක් නොව, ඇමෙරිකා එක්සත් ජනපදය සමග මිත්‍ර ගල්ෆ් රාජ්‍යයන්ට එරෙහිව ද ප්‍රහාර එල්ල කරමිනි.

බහරේනය, කුවේට්, සෞදි අරාබිය, කටාර්, ඕමානය සහ විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) යන රටවල් සියල්ල ම ඉලක්ක වී තිබේ.

කලාපයේ පිහිටා ඇති ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම මෙන් ම, ගුවන්තොටුපළ, හෝටල්, නේවාසික ප්‍රදේශ සහ විශේෂයෙන් බලශක්ති මධ්‍යස්ථාන ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට ද ඉරානය පහර දී ඇති බව ගල්ෆ් කලාපයේ නිලධාරීහු පවසති.

එහෙත්, මේ දක්වා ගල්ෆ් රාජ්‍යයන් ඉරානයට එරෙහිව ඍජුව යුද්ධයට සම්බන්ධ නොවී ප්‍රහාර එල්ල නොකිරීමේ විකල්පය තෝරාගෙන ඇත.

"ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලුවා ම මේක ඔවුන්ගේ යුද්ධයක් නෙමෙයි, ප්‍රතිප්‍රහාර තුළින් විශාල ඉලක්ක බවට පත් වෙලා ඔවුන් තවත් අවදානමට ලක් වෙන්න පුළුවන්, මේක හින්දා ඔවුන්ට තවමත් ලබා ගැනීමට වඩා අහිමි වීමට බොහෝ දේ තියෙනවා," ජාත්‍යන්තර ප්‍රතිපත්ති සඳහා වූ ඇමෙරිකානු බුද්ධි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ අනේවාසික නියෝජිත වන සිනා ටූසි පවසයි.

මේ තීරණය පැමිණෙන්නේ, "අවදානම, උපාය මාර්ගික ගණනය කිරීම් සහ ව්‍යාපාරික කටයුතුවලට එල්ල විය හැකි අහිතකර බලපෑම වැනි සාධක එකතුවකින්" බව ටූසි පවසයි.

ගල්ෆ් රාජ්‍යයන්ට බලශක්ති යටිතල පහසුකම්, නාවික ප්‍රවාහනය සහ ආයෝජකයින්ගේ විශ්වාසය මත යැපෙන ආර්ථිකයන් ඇති බව ටූසි සඳහන් කරයි."තමන්ට මේ සියල්ල කඩාකප්පල් කළ හැකි යැයි ඉරානය පෙන්වා දී තිබෙනවා."

විශේෂයෙන්, ඉරානය ගෝලීය ආර්ථිකයට තීරණාත්මක වන ජල මාර්ග දෙකක් වන පර්සියානු ගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය තම ප්‍රධාන ලීවරය ලෙස භාවිත කර ඇති බව ඔහු පවසයි.

කෙසේ වෙතත්, Trends Research & Advisory ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂ සහ පළමු ට්‍රම්ප් පරිපාලනයේ හිටපු පෙන්ටගනයේ නිලධාරියෙකු වන බිලාල් සාබ් පවසන්නේ, ගල්ෆ් රටවල් ඉරානයට පහර නොදීමෙන්, "කිසිදු ප්‍රතිවිපාකයකට මුහුණ නොදී බරපතළ හානියක් සිදු කළ හැකි බවට ඔවුන් ටෙහෙරානයට සංඥා කරමින් සිටින" බව ය.

"කෙටි කාලීනව, ඉරානයට තම ප්‍රහාර නැවැත්වීමට බල කිරීම සහ දිගු කාලීනව අනාගත ඉරාන ආක්‍රමණවලට එරෙහිව යම් ප්‍රමාණයක වැළැක්වීමක් ඇති කිරීම ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ අරමුණ වෙන්න පුළුවන්."

ගල්ෆ් රටවල් විසින් එල්ල කරන ඕනෑ ම ප්‍රහාරයක් යුද්ධයට අර්ථවත් ලෙස බලපාන්නේ ද නැතහොත් උපාය මාර්ගිකව ඥානවන්ත ද යන්න තවමත් පැහැදිලි නැති බැවින් අවදානම "සැලකිය යුතු" මට්ටමක ඇති බව ඔහු තවදුරටත් පවසයි.

ඊශ්‍රායලය හා කලාපය සඳහා වන එරට අරමුණු සමග පෙළගැසීමට ගල්ෆ් රාජ්‍යයන් අතර අකැමැත්තක් පවතින බව ද ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයන අංශයේ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ කථිකාචාර්ය රොබ් ගයිස්ට් පින්ෆෝල්ඩ් පවසයි.

"ඊශ්‍රායලය මෙම යුද්ධයට එක්සත් ජනපදය ඇදගෙන ගොස් ඇති බවට හැඟීමක් තිබෙනවා," යැයි ඔහු තවදුරටත් සඳහන් කරයි.

'2003 අවතාර සැරිසරනවා''

බොහෝ ගල්ෆ් නායකයින්ට, එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ ඉරාක යුද්ධයේ උරුමය තවමත් කලාපීය චින්තනයට විශාල ලෙස බලපාන බව පින්ෆෝල්ඩ් පවසයි.

2003 දී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කර සදාම් හුසේන්ගේ රජය ඉක්මනින් ම පෙරළා දැමී ය. නමුත් ඉන්පසුව ඇති වූ බල රික්තකය තුළ ඉරාකයේ සහ කලාපය පුරා ගැටුම්, ආගමික නිකායික ප්‍රචණ්ඩත්වයක් සහ වසර ගණනාවක අස්ථාවරත්වයක් ඇති විය.

"2003 අවතාර තව ම සැරිසරනවා," පින්ෆෝල්ඩ් පවසයි.

"මේක ඔවුන්ගේ දොරකඩ අවුල්සහගත හා අස්ථාවරත්වයට මඟ විවර කරනු ඇතැයි ඔවුන් බිය වුණා, ඒවගේ ම ඉරානයට තම බලපෑම පුළුල් කිරීමට ඉඩ සැලසෙනු ඇතැයි ඔවුන් බිය වුණා. ඔවුන් මේකෙදී බොහෝදුරට යුක්තිසහගත වුණා."

"[යුද්ධයෙන්] දිනකට පස්සෙ යන පැහැදිලි අරමුණු හෝ මාර්ගයක් නොමැතිව කවුරුන් ජය ගනී ද යන්න ස්ථිරව කිව නොහැකි සටනක්" එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන බවත්, මේ නිසා කලාපය "අවුල්සහගත තත්ත්වයකට පත්වනු ඇති" බවටත් ගල්ෆ් රාජ්‍යයන් දැන් බිය වන බව පින්ෆෝල්ඩ් පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මෙම යුද්ධය දියත් කිරීම ගැන ගල්ෆ් කලාපයේ අසතුටක් පවතින නමුත් තවමත් ඇමෙරිකානු හමුදා ආරක්ෂාව මත ඔවුන් දැඩි ලෙස විශ්වාසය තබා ඇත.

ඇමෙරිකානු හමුදා කඳවුරු සහ භට පිරිස් සඳහා සත්කාරකත්වය සැපයීමට අමතරව, ගල්ෆ් රාජ්‍යයන් ගණනාවක් බුද්ධි තොරතුරු බෙදා ගන්නා අතර ඇමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධති මත විශ්වාසය තබති.

ගල්ෆ් නිලධාරීන්ට අනුව, මෙම ගුවන් ආරක්ෂක පද්ධති ඉරානයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර බොහොමයක් වළක්වා ඇත.

"ඔවුන් [ගල්ෆ් රාජ්‍යයන්] දේශපාලන මට්ටමින් එක්සත් ජනපදයෙන් ප්‍රශ්න කළත්, මෙහෙයුම් සහ මිලිටරි මට්ටමින් එම සම්බන්ධතාවය පරීක්ෂාවට ලක් කර තිබෙනවා, ඇත්ත වශයෙන්ම පරීක්ෂණයෙන් ඉතා හොඳින් සමත් වී තිබෙනවා," පින්ෆෝල්ඩ් පවසයි.

පසුගිය මාසයේ ප්‍රහාර දියත් කළ දා සිට, ඉරානයේ න්‍යෂ්ටික අවි තැනීමේ හැකියාව විනාශ කිරීමේ සිට පූර්ණ පාලන තන්ත්‍ර වෙනසක් දක්වා වන සිය මිලිටරි මෙහෙයුම සඳහා එක්සත් ජනපදය විසින් විවිධ අරමුණු ගෙනහැර දක්වා ඇත.

තවමත්, ගල්ෆ් නායකයින් ප්‍රහාර අවසන් කිරීමට ඇති එකම මාර්ගය රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීම ලෙස දකින බව පින්ෆෝල්ඩ් පවසයි.

"ඔවුන්ගෙන් කිසිවෙකුට ප්‍රහාර එල්ල නොකරන බවට සහතික වීමට ඇති එකම ක්‍රමය යම් ආකාරයක ගිවිසුමකට එළඹීම සහ යම් ආකාරයක සාකච්ඡාමය සම්මුතියකට එළඹීම."

කලාපීය බෙදීම්

ඉරානය සියලු ම ගල්ෆ් රාජ්‍යයන් "සමාන අභිලාෂයකින්" ඉලක්ක කර නොමැති බව පින්ෆෝල්ඩ් පවසන්නේ, එම රටවල් සමග ඔවුන් පවත්වන වෙනස් සබඳතා පිළිබඳ පිළිබිඹු කරමිනි.

යුද්ධය අතරතුර වැඩිපුර ම ප්‍රහාරයට ලක්වූ රටවලින් එකක් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යි.

2020 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් දෙක ම ඊශ්‍රායලය සමග සබඳතා සාමාන්‍යකරණය කළේ ය.

ඊට පරස්පර ලෙස සැලකූ විට, ඉරානය සහ බටහිර රටවල් අතර සාකච්ඡාකරුවෙකු ලෙස දිගුකාලීන භූමිකාවක් ඉටු කරන ඕමානය, ඉරානයේ ඉලක්කයක් බවට පත්ව ඇත්තේ, ඉතා අඩුවෙනි.

"නව ඉරාන උත්තරීතර නායකයාට [මොජ්තාබා කමේනි] සුබ පැතූ එකම ගල්ෆ් රාජ්‍යය ඕමානයයි," යැයි පින්ෆෝල්ඩ් සඳහන් කරයි. "අනෙකුත් ගල්ෆ් රටවල් එය එතරම් හොඳින් සිදු කළේ නැහැ."

ඩුබායි මහජන ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් බහරූන් පැවසුවේ "ඉරානය ගල්ෆ් කලාපය තමන්ට එරෙහිව පුළුල් වන සන්ධානයකට තල්ලු කරමින් සිටින" බවයි.

"ගල්ෆ් රාජ්‍යයන්ට පහර දීමෙන් ඉරානය ඔවුන් සතුරන් බවට පත් කරමින් කිසිවෙකුට අවශ්‍ය නොකරන පුළුල් යුද්ධයක අවදානමට ලක් කරමින් සිටිනවා," ඔහු තවදුරටත් පවසයි.

බදාදා සෞදි අරාබියේ පැවති ගල්ෆ් විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමකින් පසුව, අරාබි රටවල් එක්සත් ජාතීන්ගේ 51 වන වගන්තියට අනුව ආත්මාරක්ෂාව සඳහා තමන්ට ඇති අයිතිය අවධාරණය කළහ.

ප්‍රතිප්‍රහාරවලට හේතු විය හැක්කේ කුමක් ද?

ගල්ෆ් රාජ්‍යයන් දැනට පළිගැනීමෙන් වැළකී සිටිය ද,විශේෂයෙන් බලශක්ති අපනයනවලට බාධා කරන ප්‍රහාර දිගට ම පැවතුණහොත් හෝ තත්ත්වය උත්සන්න වුවහොත් "දේශපාලන අංක ගණිතය ඉක්මනින් වෙනස් විය හැකි යි" යනුවෙන් එක්සත් රාජධානියේ බුද්ධි මණ්ඩපයක් වන RUSI හි ජ්‍යෙෂ්ඨ සහකාර සාමාජික ආචාර්ය එච්.ඒ. හෙලියර් පවසයි.

චින්තනය වෙනස් කළ හැකි එක් හැකියාවක් වන්නේ, බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වන ප්‍රධාන ප්‍රහාරයක් විය හැකි බව ඔහු පවසයි.

බ්‍රහස්පතින්දා කටාර්හි රාස් ලෆාන් බලශක්ති සංකීර්ණයට පහර දීමෙන් පසු, තමන්ගේ ම මධ්‍යස්ථානවලට එරෙහි ප්‍රහාර දිගට ම පැවතුණහොත් එක්සත් ජනපදයේ ගල්ෆ් මිත්‍ර පාක්ෂිකයින්ට "සම්පූර්ණ විනාශයක්" ගෙන එන බවට ඉරානය අවධාරණය කර සිටියේ ය.

ඉරානයේ කලාපීය හිතවතුන් ඍජුව ම තම රටවල් ඉලක්ක කළහොත් ගල්ෆ් ආකල්පවල තවත් වෙනසක් සිදුවිය හැකි ය.

"ඔවුන්ට හූති ප්‍රහාරයක් එල්ල වුවහොත්... එය නව පෙරමුණක් විවෘත කරනවා," යැයි පින්ෆෝල්ඩ් පවසයි.

මෙම තත්ත්වය තුළ, ගල්ෆ් රාජ්‍යයන් ගැටුම තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ පමණක් නොව තමන්ගේ ම එකක් ලෙස දකිනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, ගල්ෆ් රාජ්‍යයන් මේ වන විට ප්‍රතිප්‍රහාර එල්ල කර නොමැති වුව ද, ඉරානයේ උපාය මාර්ගය "ඇදහිය නොහැකි තරම් ඉහළ අවදානමක්" ඇති බව පින්ෆෝල්ඩ් පවසයි.

"ඉරාන ජාතිකයන් ගල්ෆ් රාජ්‍යයන් සමග සම්බන්ධ වූ සියලු පාලම් ගිනිබත් කරමින් සිටින අතර, ඉරාන ජාතිකයන් මෙම ගැටුම කෙතරම් දුරට තම පැවැත්ම පිළිබඳ යුද්ධයක් ලෙස සලකනවා ද යන්න එයින් පෙන්නුම් කරනවා," ඔහු පවසයි.

හෙලියර් පවසන්නේ, විශේෂයෙන් සිවිල් ඉලක්ක ඇතුළුව ගල්ෆ් රාජ්‍යයන් ඉරානය දිගින් දිගට ම තම රටවලට පහර දීම "පිළි නොගන්නා" බව ය.

අවසාන වශයෙන්, මෙය වොෂින්ටනයේ ක්‍රියාමාර්ග මැඩපැවැත්වීම සඳහා ගල්ෆ් රාජ්‍යයන්ට බලපෑම් කිරීමේ ඉරානයේ ඉහළ මට්ටමේ උපාය මාර්ගය ආපසු හැරවීමට ඉඩ ඇති බව ඔහු සිතයි.

"ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ කිරීමට ඔවුන් විරුද්ධ වුණත්, ඔවුන්ට එරෙහි ඉරාන පළිගැනීම් වලින් ඔවුන්ගේම ආරක්ෂාව දැන් අවදානමට ලක්ව ඇති නිසා, ඉරානයෙන් ක්ෂණික තර්ජනය අවසන් කිරීමට එක්සත් ජනපදය ගෙන යන සටනට සහාය දීම වඩාත් සාධාරණ බව ඔවුන් තීරණය කළ හැකි යි."