ශ්‍රී ලංකාව දෙවැනි පුහුණු තරගයෙන් පරාජයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ දෙවැනි පුහුණු තරගයේ දී ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ ගුවාතිහි ඇසෑම් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදීය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තමන් මුහුණ දුන් පුහුණු තරග දෙකෙන්ම පරාජයට පත්විය.

කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළේය.

කණගාටුයි, මෙම සැහැල්ලු ජංගම පිටුව තුළ අපට ලිපියේ මෙම කොටස පෙන්විය නොහැක.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආබාධ සහ නායකත්වයේ වෙනසක්

අද ( ඔක්තෝම්බර් මස 3 වැනිදා) ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට පවරා තිබුණි.

දසුන් ශානකගේ වම් අතේ වැලමිටේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහු මේවන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

මේ අතර ඉකුත් තරගයේදී දකුණු උරහිසේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් පිටියෙන් ඉවත්වූ කුසල් ජනිත් පෙරේරා අද තරගයේදී විවේක ගන්වා තිබු අතර ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවෙයි.

ඉකුත් ආසියානු කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වූ මහිෂ් තීක්ෂණ හෙට (ඔක්තෝම්බර් 4 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

අසාර්ථක වූ ආරම්භය

අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිම පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න විසින් ආරම්භ කරනු ලැබූහ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 30ක් වන විට දිමුත් කරුණාරත්න ලකුණු 8 කට දවා ගැනීමට මුජිබ් උර් රහමාන් සමත් විය.

දිමුත්ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක සමග එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක් එක් කිරීමට සමත් විය.

13 වන පන්දු වාරයේදී ලකුණු 30ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගැනීමට අබ්දුල් රෙහෙමාන් සමත් විය. ඒ වන ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව සටහන්ව තිබුනේ කඩුලු දෙකකට ලකුණු 82ක් ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ඉනිමේ 30 වන පන්දු වාරය අවසන් වන විට හතරේ පහරවල් 19ක්, හයේ පහරවල් 09ක් සමග පන්දු 87 කදී ලකුණු 158ක් රැස් කර ගෙන සිටි කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්ව යාමට තීරණය කරන ලදී.

කුසල්ගේ ප්‍රහාරත්මක ඉනිම

අද තරගයේ දී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරනු ලැබූ කුසල් මෙන්ඩිස් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හට දැඩි පීඩනයක් ගෙන ඒමට සමත් විය.

සිය ඉනිම ආරම්භ කළ අවස්ථාවේ පටන් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් විසින් ගොඩනගමින් තිබු පීඩනය මායිම් නොකළ මෙන්ඩිස් පන්දු 31ක් තුලදී සිය අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය.

ඉන් නොනැවතුණු කුසල් මෙන්ඩිස් තවත් පන්දු 28ක් තුලදී ලකුණු 50ක් රැස් කරමින් ශතකයක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 30 වන පන්දු වාරය අවසන් වන විට හතරේ පහරවල් 19ක්, හයේ පහරවල් 09ක් සමග පන්දු 87 කදී ලකුණු 158ක් රැස් කර ගෙන සිටි කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්ව යාමට තීරණය කරන ලදී.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 3 කට ලකුණු 240ක් ලෙසයි.

නැවතත් අසාර්ථක වූ මැද පෙළ පිතිකරුවන්

මීට පෙර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පුහුණු තරගයේදී මෙන් අද තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය පෙන්නුම් කරන ලදී.

කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත් වන විට පන්දු වාර 30කට ලකුණු 240ක් ව තිබු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46.2ක් අවසානයේදී සියලු දෙනා දැවී ගියේ ලකුණු 296කටයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 10ක් ලබා ගැනීමට පෙර දැවී යෑම ද විශේෂත්වයක් ලෙස සැලකිය හැක.

සධීර සමරවික්‍රම ලකුණු 39ක්, ධනංජය ද සිල්වා ලකුණු 22ක් රැස් කිරීම හැර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු අතරට නොපැමිණීමට නොහැකි විය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් නබි විසින් ලකුණු 44 කට කඩුලු 4ක් දවා ගන්නා ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් නබි විසින් ලකුණු 44 කට කඩුලු 4ක් දවා ගන්නා ලදී

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ හඹා යෑම

ලකුණු 297ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 19 දී දවා ගැනීමට කසුන් රාජිත සමත් විය.

තරගයේ 21ක් වන පන්දු වාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හිටුවීමට සිදුවිය.

ඒ වන විට රහමනුල්ලා ගුර්බාස් නොදැවී ලකුණු 53ක් සහ සහ රෙහෙමත් ෂා නොදැවී ලකුණු 51ක් රැස් කර සිටිය අතර ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව දිස්වුයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 118 ක් ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගයේ 21ක් වන පන්දු වාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය අත්හිටුවීමට සිදුවිය

වර්ෂාවෙන් පසු ඇෆ්ගනිස්ථානයට ලැබුණු ඉලක්කය

තරගයේ පැය එකහමාරක කාලයක් වර්ෂාව හේතුවෙන් අහිමිවී විය.

ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණ සඳහා පන්දු වාර 42 කදී ලකුණු 257ක ඉලක්කයක් හිමිවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රහමනුල්ලා ගුර්බාස් පන්දු 92 කදී ලකුණු 119ක් රැස් කිරීමෙන් පසු පිටියෙන් ඉවත්විය

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වූ ඇෆ්ගනිස්ථාන පිතිකරුවන්

වර්ෂාවෙන් පසු තරගයේ ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දු වාර 21කදි ලකුණු 139ක් අවශ්‍යව තිබුණි.

කෙසේ වුවද රහමනුල්ලා ගුර්බාස් සහ රෙහෙමත් ෂා විසින් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 212ක් එක් කිරීමට සමත් විය.

එහිදී රහමනුල්ලා ගුර්බාස් පන්දු 92 කදී ලකුණු 119ක් රැස් කිරීමෙන් පසු පිටියෙන් ඉවත්වූ අතර රෙහෙමත් ෂා ද පන්දු 82 කදී ලකුණු 93ක් රැස් කිරීමෙන් පසු පිටියෙන් ඉවත් විය.

ඇෆ්ගනිස්ථාන ඉනිමේ 34 වන පන්දු වාරයේදී මොහොමඩ් නබී එක් ලකුණකට දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය.

ඒ වුවද ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු වාර 38.1කදී කඩුලූ 4ක් පමණක් දැවී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකර යෑමට සමත් විය.