ගාසාහි අල්-ෂිෆා රෝහලේ සිදුවන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඊතර් ශලබි
    • Role, බීබීසී අරාබි

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා ආසන්නයේ පසුගිය දිනවල සටන් ඇවිලී ගිය අතර, උග්‍ර ඉන්ධන හිඟය ප්‍රතිකාරවලට බලපෑමක් ඇති කළේ ය.

බීබීසී අරාබි සේවයේ ඊතර් ශලබි එහි වත්මන් තත්ත්වය පිළිබඳව වැඩි වශයෙන් යොමු වන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සෙවීම සඳහා රෝහල් ප්‍රධානියා සහ අල්-ෂිෆා රෝහල තුළ සිටින අනෙකුත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් සමග සංවාදයක යෙදී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Dr Muhammad Abu Salamiya

ඡායාරූප ශීර්ෂ වැකිය, අල් ෂිෆා රෝහලේ ප්‍රධානී වෛද්‍ය මුහම්මද් අබු සලාමියා අනතුරු අඟවන්නේ විදුලි ජනක සඳහා අවශ්‍ය ඉන්ධන මට්ටම ඉතා අඩු බැවින් ඉන්කියුබේටර් වැනි අත්‍යවශ්‍ය උපකරණ ක්‍රියා කරවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවය.

අල්-ෂිෆා රෝහල පිහිටා ඇත්තේ කොහේ ද?

ගාසාහි විශාලතම රෝහල් සංකීර්ණය ලෙස සැලකෙන අල්-ෂිෆා රෝහල පිහිටා ඇත්තේ, ගාසා නගරයට අසල්වැසි රිමාල් ප්‍රදේශයේ ය.

  • ඇඳන් 700ක ධාරිතාවකින් යුත් රෝහල ප්‍රධාන ගොඩනැගිලි පහකින් සමන්විත වේ:
  • මාතෘ සේවා ඇතුළත් ප්‍රසව හා නාරිවේද ඒකක;
  • දැඩි සත්කාර ඒකකයක් (ICU) ඇතුළත් විශේෂිත සැත්කම්;
  • සාමාන්‍ය ශල්‍යකර්ම සහ විකලාංග ඒකක;
  • අභ්‍යන්තර වෛද්‍ය සහ කාන්දු පෙරීමේ (dialysis) ඒකක;
  • බාහිර රෝගී සායන, රසායනාගාර සහ ලේ බැංකුව ඇතුළත් පරිපාලන ගොඩනැගිල්ලක්.

රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂ වෛද්‍ය මුහම්මද් අබු සලාමියා පවසන්නේ, සාමකාමී කාලවලදී එය ගාසා තීරයේ හොඳ ම රෝහල ලෙස හැඳින්වූ බව ය.

එය ජාත්‍යන්තර කීර්තියක් හිමි කර ගත් ශික්ෂණ රෝහලක් ද වේ. ඔහු එය විස්තර කරන්නේ, "සියලු අවශ්‍යතා සපුරාලීමට විශේෂීකරණයක්" සහිත ශික්ෂණ රෝහලක් ලෙස ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2023 නොවැම්බර් 13 වන දින අනතුරු ඇඟවූයේ අල්-ෂිෆා රෝහල ඇතුළත සහ පිටත මළ සිරුරු ගොඩගැසී ඇති ආකරය අනුව එය "සුසාන භූමියකට ආසන්න" තත්ත්වයකට පත්ව ඇති බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් පුත්‍රයෙකු මියයාමෙන් පසු හඬා වැටෙන මවක් අල්-ෂිෆා රෝහලේදී ඇගේ තවත් පුත්‍රයෙකු විසින් සනසාලනු ලබන අයුරු

සමූහ මිනීවළක්

අවම වශයෙන් මළ සිරුරු 120ක් සමූහ මිනීවළක මිහිදන් කිරීමෙන් රෝග පැතිරීම වැළැක්වීමට වෛද්‍ය කණ්ඩායමක් මූලිකත්වය ගත් බව, ඉන් දිනකට පසු, විකලාංග ශල්‍යකර්ම ප්‍රධානී වෛද්‍ය අද්නාන් අල්-බර්ෂ් බීබීසීයට පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Dr Adnan al-Bursh

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය අද්නාන් අල්-බර්ෂ් බීබීසීයට පැවසුවේ සමූහ මිනීවළක සිරුරු 200ක් පමණ මිහිදන් කිරීමෙන් රෝග පැතිරීම වැළැක්වීමට වෛද්‍ය කණ්ඩායමක් මූලිකත්වය ගත් බවයි.

වෛද්‍ය අල්-බර්ෂ් පවසන්නේ, මෘත ශරීරාගාරයේ තිබුණු තවත් මළ සිරුරු 80ක් ද සමූහ මිනීවළේ මිහිදන් කළ බව ය.

පසුගිය දිනවල රෝහල ආසන්නයේ සටන් ඇවිලී ගියේ, උග්‍ර ඉන්ධන හිඟය ප්‍රතිකාර සඳහා බලපෑම් ඇති කිරීමත් සමග ය.

අල්-ෂිෆා රෝහල පවත්වා ගෙන යන්නේ කවු ද?

අල්-ෂිෆා රෝහල හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන ගාසා සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වේ.

ඡායාරූප මූලාශ්‍රය, Dr Muhammad Abu Salamiya

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය මුහම්මද් අබු සලාමියා යනු ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ප්‍රධානියාය

පෙර සඳහන් කළ පරිදි, රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂවරයා වන්නේ, වෛද්‍ය මුහම්මද් අබු සලාමියා ය.

අල්-ෂිෆා රෝහලේ දැනට රෝගීන් කී දෙනෙකු සිටී ද?

වෛද්‍ය අබු සලාමියා පවසන පරිදි, සෑම දිනක ම රෝගීන් සංඛ්‍යාව වෙනස් වේ.

නොවැම්බර් 13 වන දින ඇස්තමේන්තුගත රෝගීන් සංඛ්‍යාව 650ක් පමණ වූ අතර, ඒ අතර වකුගඩු (dialysis) රෝගීන් 50ක්, ඉන්කියුබේටර් තුළ සිටින ළදරුවන් 36ක් සහ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 26ක් සිටින බව ඔහු පවසයි. රෝහලේ වෛද්‍ය වෘත්තිකයන් 700ක් පමණ සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Patients lying on portable beds in a hallway inside Al-Shifa hospital

ඡායාරූප ශීර්ෂ වැකිය, රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා රෝගීන්ට කොරිඩෝවල නිදා ගැනීමට සිදුව තිබේ

අවම වශයෙන් ගොඩනැගිලි දෙකක සිටි රෝගීන් ඉතිරි ගොඩනැගිලි තුන වෙත ඉවත් කර යැවීමට සිදුව ඇති බව වෛද්‍යවරු පවසති.

රෝහලේ රැකවරණය ලබන අවතැන් වූවන් සංඛ්‍යාව 5,000ක් පමණ වන බව වෛද්‍ය අබු සලාමියා බීබීසීයට පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Haitham Imad / Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාරයකින් තම නිවස විනාශ වීමෙන් පසු අල්-ෂිෆා රෝහල් භූමියේ තාවකාලිකව ඉදිකරන ලද නවාතැනක රැකවරණය ලබන පවුලක්

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් සතියකට පමණ පසු, දස දහස් ගණනක් ජනතාව රෝහලේ රැකවරණය ලබා ඇති අතර, අවසානයේ එම සංඛ්‍යාව 60,000කට පමණ ආසන්න වූ බව අධ්‍යක්ෂවරයා පවසයි.

නමුත් මෑත දිනවල රෝහල් සංකීර්ණයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූ දා සිට එහි සිටි සරණාගතයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති නමුත් දහස් ගණනක් තවදුරටත් එහි ඉතිරිව ඇත.

"ඔවුන්ගෙන් සමහරක් [රෝගීන්] රෝහලෙන් පලා ගිහින් වගේ ම, දකුණු ප්‍රදේශයට යන අතරමගදී එහෙමත් නැත්නම් පාසල් [තුළ ඇති සරණාගත කඳවුරුවලට] යන අතරතුරදී ඝාතනයට ලක් වෙලා," වෛද්‍ය අබු සලාමියා පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය මුහම්මද් අබු සලාමියා පවසන පරිදි අල්-ෂිෆා රෝහල් භූමියේ පුද්ගලයන් 5,000ක් නවාතැන් සොයමින් සිටිති.

රෝහලෙන් පිටව ගිය ඇතැමුන් මීටර 200ක් පමණ දුරකදී පහර දීම්වලට ලක්ව ඇති බව ත් ඔවුන්ට ආරක්ෂාව පතා ආපසු පැමිණීමට සිදු වූ බව ත් ඔහු තවදුරට ත් පවසයි.

ඔවුන් යා යුත්තේ කොතැනට ද? යන්න විමසූ විට ඔහු බීබීසීයට පැවසුවේ , "එහෙම ගියොත් එයාලට සිද්ධ වෙන්නේ මෙහේ ම මැරෙන්න. එයාලට එහෙම යන්න බෑ."

"අපි සහ අපේ රෝගීන් රෝහලෙන් ආරක්ෂිතව ඉවත් කරන්න කියලා ඉල්ලනවා," ඔහු පවසයි.

ගාසා තීරයේ ඇති කිසිදු රෝහලකට ඔවුන් ගනුදෙනු කරන ආකාරයේ විශාල රෝගීන් සංඛ්‍යාවක් සඳහා පහසුකම් සැලසිය නොහැකි බැවින්, ගාසා තීරය ඇතුළත හෝ ඉන් පිටත ඇති "ආරක්ෂිත රෝහල් සහිත ආරක්ෂිත ස්ථාන" වෙත රෝගීන් කඩිනමින් මාරු කළ යුතු බව ඔහු තවදුරටත් පවසයි.

දැනට රෝහලේ ඉන්ධන තත්ත්වය කෙබඳු ද?

වෛද්‍ය අබු සලාමියා සහ අනෙකුත් ශල්‍ය වෛද්‍යවරුන් බීබීසීයට පවසන්නේ, රෝහලේ ඉන්ධන නොමැති බව ත්, ඔවුන් "හදිසි අවශ්‍යතා සඳහා" භාවිත කරන සීමිත ඉන්ධන සංචිත මත යැපෙන බව ත් ය.

ඊශ‍්‍රායලය පවසන්නේ, තමන් මෑතකදී ඉන්ධන සැපයීමට ඉදිරිපත් වූ බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, අල්-ෂිෆා හි නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු 'විශාල ව්‍යසනයක්' ගැන අනතුරු අඟවති.

ඔක්තෝබර් 12 සවස ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ, එක් රැයක් තුළ IDF ඉන්ධන ලීටර් 300ක් රෝහල අසල තැබූ නමුත් හමාස් සාමාජිකයින් ඒවා ලබා ගැනීම "වළක්වමින් රෝහලට බලපෑම් කරමින් සිටි" බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම රෝහලේ ඉන්ධන අවසන්ව ජෙනරේටර් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් ඩයලිසිස් ප්‍රතිකාර නැවැත්වීමට සිදුවිය හැකිය

"ලබා දුන් ඉන්ධන භාරගැනීම කිරීම ප්‍රතික්ෂේප නොකළ" නමුත් එම ඉන්ධනවලින් තම විදුලි උත්පාදක යන්ත්‍ර බල ගැන්විය හැක්කේ, "විනාඩි 30ක කාලයක් පමණක්" බව වෛද්‍ය අබු සලාමියා බීබීසීයට පවසයි.

"සටන් කලාපයක, මධ්‍යම රාත්‍රියේ" ඉන්ධන එකතු කිරීමට ඉඩ දීමෙන් තම වෛද්‍ය කණ්ඩායම අවදානමට ලක් නොකරන බව ඔහු ප්‍රකාශ කරයි.

ඔහු පවසන්නේ, ඒ වෙනුවට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට මැදිහත් වී උදෑසන කාලයේ ඉන්ධන ලබා දීමට හැකි නම් ඒ පිළිබඳව තමන් ප්‍රසාදය පළ කරන නමුත් ඒ සම්බන්ධයෙන් මූලික යෝජනාව ඉදිරිපත් කළ දින සිට IDF වෙතින් ඊට මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව ත් ය.

රෝහලට දිනපතා කටයුතු පවත්වා ගෙන යාමට අවම වශයෙන් ඉන්ධන ලීටර් 10,000ක් අවශ්‍ය බව ඔහු පවසයි. එය ඊශ්‍රායලය විසින් පිරිනමන ලද ලීටර් 300ට වඩා සැලකිය යුතු තරම් ඉහළ ප්‍රමාණයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කූඩාරම්වල සිටින මිනිසුන්ට ආලෝකය හෝ විදුලි බලය නොමැතිව ජීවත් වීමට සිදුව තිබේ.

අල්-ෂිෆා රෝහලෙන් මිනිසුන්ට ඉවත් විය හැකි ද?

බොහෝ පිරිස් අන්තර්ජාලය හරහා මෙම ප්‍රශ්නය යොමු කර තිබුණි : "ඇයි මිනිස්සුන්ට මේ ගාසා රෝහලෙන් පිටවෙලා යන්න බැරි?"

මීට පෙර, IDF ප්‍රකාශක රියර් අද්මිරාල් හගාරි පැවසුවේ, ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ රෝහල්වල සිට දකුණු ප්‍රදේශය දෙසට "නම් කරන ලද මාර්ග" විවෘත කර ඇති අතර "රෝගීන් සහ තුවාල ලැබූවන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට සහය වීම" සඳහා අල්-ෂිෆා හි නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටි බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පවසන්නේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අල්-ෂිෆා රෝහලෙන් ඉවත්වන පුද්ගලයින්ට ආරක්ෂිත මාර්ගයක් ලබා දෙන බවයි.

එම ස්ථානයේ රැකවරණය ලබන ළදරුවන් විශාල ගණනක් වෙනත් රෝහලක් වෙත ඉවත් කර යැවීමට ඊශ්‍රායලය "උපකාර කිරීමට සූදානම්" බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ මෙය කළ නොහැකි බව රෝහල්වල ශල්‍ය වෛද්‍යවරු පවසති.

විකලාංග ශල්‍යකර්ම ප්‍රධානී වෛද්‍ය අද්නාන් අල්-බර්ෂ් පවසන්නේ, ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් රෝහල දින හතරක සිට සම්පූර්ණයෙන් ම "අවහිර" වී ඇති බව ත් බොහෝ දෙනෙකු රෝහලෙන් පිටව යාමට සහ එලෙස පිටව යන විට තමන් ඝාතනයට ලක් වනු ඇතැයි බියෙන් පසුවන බව ත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්‍යාවශ්‍ය සේවා සඳහා බලශක්තිය ඉතිරි කිරීමට අවශ්‍ය බැවින් රෝහලේ රැකවරණය පතන දහස් සංඛ්‍යාත ජනතාවගෙන් බොහෝ දෙනෙක් අඳුරේ සිටිති

"රෝහලේ ඉඳලා මීටර් 100ක් විතර අඩු දුරකින් ඊශ්‍රායලයේ යුද්ධ ටැංකි තුනක් තියෙනවා මම දැක්කා. ඒ වගේ ම හැම වෙලාවක ම වගේ රෝහල් සංකීර්ණයට උඩින් ඩ්‍රෝන යානා පියාසර කරනවා." හෙතෙම බීබීසීයට කියා සිටියේය.

මේ හේතුවෙන් කිසිදු වෛද්‍ය කාර්ය මණ්ඩලයකට රෝහල් ගොඩනැගිලිවලින් පිටතට යාමට නොහැකි බව ඔහු පවසයි.

අල්-ෂිෆා රෝහලට ප්‍රහාරයක් එල්ල වෙලා ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ, පසුගිය දින කිහිපය තුළ රෝහලට කිහිප වතාවක් ම ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් කිහිප දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබු බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images / AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 3 වන දින අල්-ෂිෆා රෝහල ඉදිරිපිටදී ඊශ්‍රායලයෙන් එල්ල වූ බව කියන ප්‍රහාරයකින් ගිලන් රථයකට හානි වූ පසු බිම සිටින තුවාලකරුවෙකුට ප්‍රතිකාර කිරීමට පුද්ගලයෙකු නැමී සිටින අයුරු (තුවාල සහිත අන්තර්ගතය පෙන්වීම වැළැක්වීම සඳහා රූපයේ පහළ කොටස කපා දමා තිබේ )

රෝහලට පහර දීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරන නමුත් රෝහල වටා භූමියේ තම හමුදා යොදවා ඇති බව IDF තහවුරු කර ඇත.

අල්-ෂිෆා රෝහලට යටින් භූගතව හමාස් අණ දෙන මධ්‍යස්ථානයක් පවතින බව ඊශ්‍රායලය ප්‍රකාශ කරන අතර IDF ප්‍රකාශිකා ලිබී වයිස් කියා සිටියේ "අපි නිසැක වශයෙන් ම දන්නවා [එතන හමාස් පාලන මධ්‍යස්ථානයක් තියෙනවා කියලා]. ඒ බව සනාථ කෙරෙන වැදගත් තොරතුරු අපි ලබා දීලා තියෙනවා." යනුවෙනි.

IDF විසින් රෝහලට යටින් පිහිටා ඇති උමං ජාලයක් යැයි පවසන දෙයෙහි ත්‍රිමාණ නිරූපණයක් සහ හමාස් සටන්කාමීන් ඒවා ගැන සාකච්ඡා කරන බව කියන හඬ පට ද නිකුත් කරනු ලැබ තිබේ.

හමාස් සංවිධානය සතුව රෝහලට යටින් භූගතව මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති බව හමාස් සහ රෝහල් බලධාරීහු ප්‍රතික්ෂේප කරති.

රෝහල තුළ සිටින වෛද්‍යවරුන් පවසන්නේ, හමාස් සංවිධානයේ සාමාජිකයින් එහි නොසිටින බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් 3 වන දින අල්-ෂිෆා රෝහල ඉදිරිපිට ඊශ්‍රායලයෙන් එල්ල වූ බව කියන ප්‍රහාරයකින් හානියට පත් ගිලන් රථයක් වටා ජනතාව රැස්ව සිටින අයුරු

"එයාලා [ඊශ්‍රායලය] බොරු කියන්නේ. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් සහ අනෙකුත් සියලු ම ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ කණ්ඩායම් එවා අල්-ෂිෆා සංකීර්ණය තුළ [සටන්කාමීන්] සිටී ද නැද්ද යන්න විමර්ශනය කරන්න කියලා," වෛද්‍ය අබු සලාමියා බීබීසීයට පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයෙන් අවතැන් වූවන් කූඩාරම්වල ජීවත් වන අල්-ෂිෆා රෝහල් ගොඩනැගිල්ල

"මේක රෝගීන්ට සහ තුවාල ලැබූවන්ට සේවය කරන සිවිල් ආයතනයක්. ඕනෑ ම කෙනෙකුට ඇවිල්ලා ඒ බව තහවුරු කර ගන්න ඉඩ දෙන්න අපි සූදානම්."

වෛද්‍ය අල්-බර්ෂ් වැඩිදුරටත් පවසන්නේ, "සටන්කාමීන් රෝහලේ සිටිනවා යැයි හිතන්න බැහැ. මේක මගේ ගෙදර වගේ. සටන්කාමීන් ඉන්නවා කියලා දැන ගත්තොත්, මෙහේ වැඩ කරන ශල්‍ය වෛද්‍යවරයෙක් විධියට මම මුලින් ම කරන්නේ, මෙතනින් පිටවෙලා යන එක."

පලස්තීන සෞඛ්‍ය ඇමති හමාස් මූලස්ථානයේ සාක්ෂි ඉල්ලයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගාසාවේ අල්-ෂිෆා රෝහලේ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් ඇති බවට සාක්ෂි තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව පලස්තීන සෞඛ්‍ය ඇමතිනී මායි අල්-කයිලා බීබීසීයට පවසා ඇත්තේ, ඊශ්‍රායල හමුදා ඒ පිළිබඳව සාක්ෂි 'පෙන්විය යුතු' බව ද පවසමිනි.

හමාස් සංවිධානයට අයත් මහා පරිමාණයේ කඳවුරක් ඇති බව පවසමින් බදාදා (නොවැම්බර් 15) ඊශ්‍රායල හමුදා රෝහල් ගොඩනැගිලිවලට ඇතුළු වී දිනකට පසු අදහස් දක්වමින් ඇය මේ බව පැවසීය.

ඊශ්‍රායල සහ එක්සත් ජනපද බුද්ධි අංශ පවසන්නේ, හමාස් සංවිධානය අණදෙන මධ්‍යස්ථානයක් ලෙස රෝහල යටින් දිවෙන උමං මාර්ග භාවිත කර ඇති බව ය. හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කරයි.

'අපිට එය පෙන්වන්න'

ඇමතිනි අල්-කයිලා බීබීසී අරාබි සේවයට පැවසුවේ, "රෝහල් ආරක්ෂා කරන්න ඕන වගේ ම, වෘත්තීය මට්ටමේ සේවයක් ලබා දීමට භාවිත කරන්න ඕන. ඒත් දැන් අල්-ෂිෆා රෝහල දින පහක ඉඳලා ඊශ්‍රායලය වටලලා තියෙන්නේ. ඉතින් [එතන] හමාස් මූලස්ථානයක් තියෙනවා නම්, එයාලා ඒක අපිට පෙන්නන ඕන.

"මේක ඇවිල්ලා ඇතැම් දේවල් රකින්න අපි රෝහලේ සමස්ත ප්‍රශ්නය සහ ඉන් ලබාදෙන සේවා වගේ ම, මේ රෝහලේ දුක් විඳින 10,000ක් සිවිල් වැසියන් නොසලකා හරිනවා කියන එක නෙවෙයි."

"මෙන්න මේ නිසයි මම විශ්වාස කරන්නේ, මේ යුද්ධය නවතින්න ඕන කියලා. මොක ද ඒක හැම කෙනෙකුට ම විනාශය අත් කර දෙන දෙයක් මිස කිසි කෙනෙකුට ජයග්‍රහණයක් ලබා දෙන දෙයක් නොවන නිසා."

බීබීසීය රෝහලට ඇතුළු වෙයි

ගාසාහි අල්-ෂිෆා රෝහල තුළ ඊශ්‍රායලය මේ දක්වා සොයා ගෙන ඇතැයි පවසන දේවල් නිරීක්ෂණය කිරීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් බීබීසී සහ එක් එක්සත් ජනපද රූපවාහිනී නාලිකාවක කාර්ය මණ්ඩල වෙත ආරාධනා කරන ලදී.

හමාස් සාමාජිකයින් එහි සඟවා තිබුණේ යැයි ඊශ්‍රායලය පවසන රයිෆල්, පතොරම් සහ ශරීර සන්නාහ බදාදා (නොවැම්බර් 15) බීබීසීය වෙත පෙන්වනු ලැබිණි.

බීබීසීය සිදුකළ සංචාරය දැඩි ලෙස පාලනය කරනු ලැබ තිබුණු අතර රෝහලේ කිසිදු වෛද්‍යවරයකු හෝ රෝගියෙකු සමග කතාබහ කිරීමට වාර්තාකරුවන්ට ඉඩ නොලැබිණි. කෙසේ වෙතත්, සංචාරය පිළිබඳව විස්තර කිරීමට භාවිත කරන වචන සඳහා වාරණයක් නොතිබිණි.

ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් බීබීසී නිෂ්පාදක කණ්ඩායමට පැවසුවේ, "වර්තමාන තත්ත්වය පිළිබඳව ඇත්ත වශයෙන් ම අවබෝධයක් ලබාගන්න පුළුවන් විධියේ පරිගණක සහ වෙනත් උපකරණ රාශියක් අපි සොයා ගත්තා, ඒ වගේම බොහෝවිට ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙනුත්"

අල්-කයිලා පවසන්නේ, රෝහලේ තත්ත්වය තවදුරටත් "භයානක" මට්ටමක පවතින අතර එය හොඳ මට්ටමකට හැරීමක් පෙන්නුම් නොකරන බව ය.

"සෞඛ්‍ය සේවකයින්ට, රෝගීන්ට හෝ එහි සිටින අවතැන් වූවන්ට පානීය ජලය, ආහාර නැහැ."

"මෙතන වටපිටාව බිහිසුණුම [එකක්] ; මිනිස්සු... [රෝහල අල්ලා ගන්න එන] හමුදාවලට බය වෙලා ඉන්නේ කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා."

"හමුදා වටලෑමට යටත් වෙනවා කියන්නේ... අනිවාර්යයෙන් ම බය කියන හැඟීම තියේවි. මම ඒක හරියට ම කියන්නේ, [පලස්තීනයේ] පළමු සහ දෙවන නැගිටීම් [ඉන්ටිෆාඩාස්] දෙකේදී ම මම මේක අත්විඳලා තියෙන නිසා."

"ඒ නිසා මිනිස්සු අතර බය අනිවාර්යයෙන් ම පවතීවි. විශේෂයෙන් ම, ඒ වැඩි දෙනෙක් දරුවන් සහ කාන්තාවන් වෙන නිසා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි හඬ ඇසෙමින් හා ඊශ්‍රායල ටැංකි සහ කැණීම් කරන්නන් ගමන් කරමින් සිටියදී අල්-ෂිෆා රෝහලෙන් පිටව ගිය සිය ගණනක් ඇතුළු පලස්තීනුවන් ගාසා නගරයෙන් පයින් පලා යන අයුරු දක්නට ලැබේ.

අල්-ෂිෆා රෝහලෙන් පිටව ගිය සිය ගණනක් ඇතුළු පලස්තීනුවන් ගාසා නගරයෙන් පා ගමනින් පයින් පලායයි

කෙසේ වෙතත් රෝගීන් ඇතුළු සිය ගණනක් සෙනසුරාදා( නොවැම්බර් 18) ගාසා නගරයේ ප්‍රධාන රෝහලෙන් පිටව ගියහ. සමහර වෛද්‍ය කාර්ය මණ්ඩල පැවසුවේ ඔවුන්ට පිටව යන ලෙස දන්වා ඇති බවකි. නමුත් ඊශ්‍රායලය මෙය ප්‍රතික්ෂේප කරයි.

වෙඩි හඬ ඇසෙමින් හා ඊශ්‍රායල ටැංකි සහ කැණීම් කරන්නන් ගමන් කරමින් සිටියදී අල්-ෂිෆා රෝහලෙන් පිටව ගිය සිය ගණනක් ඇතුළු පලස්තීනුවන් ගාසා නගරයෙන් පයින් පලා යන අයුරු දක්නට ලැබේ.

රෝහලෙන් පිටව ගිය අතර රෝගීන් සහ තුවාල ලැබූවන්, අතපය අහිමිවුවන් මෙන්ම රෝහලේ සරණාගතභාවය ලැබූ පුද්ගලයින් ද සිටින බව එම ස්ථානයේ සිටි AFP වාර්තාකරු පැවසීය.

බරපතල තුවාල ලැබූ සහ රෝගාතුර වූ 120 ක් පමණ තවදුරටත් රෝහලේ රැඳී සිටිති.