ගාසා තීරයේ බීබීසී වාර්තාකරු: 'මගේ ජීවිතය දුෂ්කර අතට හැරෙමින් තියෙනවා'

ඡායාරූප ශීර්ෂ වැකිය, තුවාලලැබූවන් මෝටර් රථයකින් ඛාන් යූනිස්හි නසර් රෝහලට ගෙන එන අතර අනතුරුව ස්ට්‍රෙචර් මත තබනු ලැබේ

ඛාන් යූනිස්හි නසර් රෝහල ඉදිරිපිට ඩෙනිම් කලිසම් සහ සෙරෙප්පු පැළඳි තරුණයන් අවමංගල්‍ය පෙරහැරක මෙන් පෝලිමට සිටගෙන සිටියි.

දෙසැම්බර් පළමුවන දා ඊශ්‍රායලය දකුණු ගාසා තීරයට බෝම්බ හෙළීමට පටන් ගත් දා සිට සිය ගණනක් දෙනා මියගොස් ඇත.

එය අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිරිපිට ගත වන, ආතතියෙන් පිරුණු තවත් එක් අඳුරු රැයකි.

වෛද්‍ය ඇඳුමින් සැරසී සිටින පිරිමින් පිටතට වී සූදානමින් සිටගෙන සිටියේ ය. කටහඬවල් නැගී එත් ම ඔවුහු එක්රොක් වූහ.

සාමාන්‍ය කටයුතු අඩාල වීම ඇරඹී තිබේ. ජනතාව කම්පනයට හා වෙහෙසට පත්ව සිටිති.

විදුලි පහන් දල්වා ගෙන නළාව ශබ්ද කරමින් පැමිණ නතර කෙරුණු මෝටර් රථයක් තුළ සිටි තරුණයෙකු එළියට ඇද ස්ට්‍රෙචරයක් මත තබා වේගයෙන් [රෝහල] තුළට ගෙනයනු ලැබුණි.

දූවිල්ලෙන් වැසී ගිය තවත් මෝටර් රථයක් පැමිණි අතර ඒ තුළ සිටි දරුවෙකුට ඉන් පිටතට පැමිණීමට උපකාර කෙරිණි. වයස අවුරුදු 4ක් හෝ 5ක් පමණ වූ ඔහුට දෙපයින් ඇවිද යාමට හැකි විය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තුවාලලැබූවන් ඛාන් යූනිස්හි නසාර් රෝහලට ගෙන එන විට පිරිමින් රෝහලෙන් පිටත සිටගෙන සිටියි

ඊට පසු දා නගරයේ කඩමණ්ඩියේ සිටි දරුවන් හයදෙනෙකුගේ මවක් වන සමා ඉල්වාන් උදව් පතමින් සිටියා ය.

"මට මුළු ලෝකයටමත්, එළියේ තියෙන අරාබි ලෝකයටත් පණිවිඩයක් යවන්න ඕනේ," ඇය පවසයි.

"මට මුළු ලෝකෙට ම අපි අහිංසකයි කියන පණිවිඩය යවන්න ඕනේ. අපි කිසි වරදක් කරලා නැහැ."

හිස් වතුර බෝතල් දෙකක් අහසට ඔසවා ඒ මේ අත වනමින් ඇය පවසන්නේ, ඇගේ දැරියන් පස් දෙනා සහ දරුවා පිපාසයෙන් පසුවන බව ය.

"අපි පූසෝ බල්ලෝ වගේ වෙලා. පූසන්ට බල්ලන්ට ඉන්න හෙවණක් හරි හම්බ වෙනවා. අපිට මුකුත් නැහැ. අපි පාරේ අසරණ වෙලා."

ඡායාරූප ශීර්ෂ වැකිය, සයදරු මවක් වන සමා ඉල්වාන් අවතැන්වූ තැනැත්තියක වන අතර, මුදල් හිඟකම නිසා ඛාන් යූනිස්හි ජීවත්වීමට අරගල කරයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔක්‌තෝබර් 7 වන දා ඊශ්‍රායලයට හමාස්‌ ප්‍රහාරය එල්ල කළ දා සිට ජන ජීවිතය දෙදරා ගොස් තිබේ.

යුරෝපා සංගමයට අයත් රටවල්වල සහ අමෙරිකා එක්සත් ජනපදයේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස්, අවම වශයෙන් පුද්ගලයින් 1,200ක් මරා දැමූ අතර 240කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස නැවත ගාසා වෙත ගෙන ගියේ ය.

එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු ගසා තීරය වෙත දැඩි බෝම්බ හෙළීම් සහ ඊශ්‍රායලයේ ගොඩබිම් ආක්‍රමණය සිදු විය.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, පුද්ගලයන් 18,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඉන් බහුතරය කාන්තාවන් සහ ළමුන්බව ය.

ගාසාහි දින හතක සටන් විරාමයකට සඳහා එකඟතාවක් ඇතිවූ අතර පලස්තීන සිරකරුවන් වෙනුවෙන් ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනෙකු හුවමාරුකර ගැනුණි.

නමුත් දැන් යුද්ධයට යළි ඇරඹී තිබේ. මගේ පවුල මධ්‍යම ගාසාවේ සිටින අතර මම ඛාන් යූනිස්හි තනිව සිටිමි.

දින කීපයකට පෙර මෙය මෙහි තිබූ, චන්ද්‍රිකා ට්‍රක් රථයක් සඳහා හොඳින් සංඥා හසුවන, ආරක්ෂිතම ස්ථානය විය.

මාධ්‍යවේදියෙකු වීම ගැන මා නිරන්තරයෙන් ආඩම්බර වන නමුත් මා සතු විකල්ප අවසන් වෙමින් පවතියි. මගේ ජීවිතය දුෂ්කර තත්ත්වයකට හැරෙමින් පවතියි.

පවුලේ අය බැලීමට දින කිහිපයකට වරක් මධ්‍යම ගාසා තීරයට යාමට මට හැකියාවක් තිබිණි. නමුත් දැන්, ඊශ්‍රායල බලධාරීන් එක් මාර්ගයක් වසා දමා ඇති අතර දෙවන මාර්ගයේ තත්ත්වය ඉතා භයානක ය.

ඡායාරූප ශීර්ෂ වැකිය, බීබීසී අරාබි සේවයේ වාර්තාකරු අද්නන් එල්-බුර්ෂ් ඛාන් යූනිස්හි නසර් රෝහල ඉදිරිපිට

මා උතුරේ පදිංචිකරුවෙකු වූ නමුත් දකුණ 'ආරක්ෂිත ස්ථානයක්යැ'යි පැවසූ ඊශ්‍රායල හමුදාවේ නියෝගයෙන් පසු මම මගේ පවුල සමග දකුණට පළා ගියෙමි.

දැන්, ඔවුහු අපට ඛාන් යූනිස්හි 'භයානක ගොඩබිම් මෙහෙයුමක්' ගැන අනතුරු අඟවන අතර අප තව දුරටත් දකුණට - ඊජිප්තු මායිමේ පිහිටි රෆා වෙත යා යුතු බව පවසති.

යුද්ධය ආරම්භයේ සිට මටත්, මගේ පවුලේ සාමාජිකයින්ටත් සිදුවූ බොහෝ දේ තිබියදීත්, මට මා සම්පූර්ණයෙන් ම අතරමං වී ඇති බවක් දැනෙන පළමු අවස්ථාව මෙය යි. මා සතු සියලු අධිෂ්ඨාන ශක්තිය මෙන් ම පාලනය ද මා තුළින් ගිලිහී ගොසිනි.

මම සැලසුම් ගොඩනගමින්, මගේ පවුල ආරක්ෂිතව තබා ගැනීමට සමත්ව සිටියෙමි. දැන් මම තීරණයකට පැමිණීමට ඇති නොහැකියාවෙන් පීඩා විඳිමි.

මා රෆා වෙත ගොස් රාජකාරි කටයුතුවල නිරත වෙමින් මගේ පවුල හොඳින් සිටිනු ඇතැ යි බලාපොරොත්තු විය යුතු ද? නොඑසේ නම්, මා යළිත් ඔවුන් කරා ගොස් වාර්තාකරණ කටයුතු නතර කළ යුතු ද? එවිට තත්ත්වය නරක අතට හැරුණහොත් අවම වශයෙන් අප සියලු දෙනාට එක්ව මියැදීමට හැකිවනු ඇති ද?

කිසිසේත් ම තෝරා ගැනීමක් නොවන මෙවැනි බිහිසුණු තේරීමකට වෙනත් කිසිවෙකුට මුහුණදීමට සිදු නොවනු ඇතැ යි මම අපේක්ෂා කරමි.