මිනිසුන් සමග සබඳතා පැවැත්වීමෙන් ඔබගේ ජීවිත කාලය දික් වන බව ඔබ දන්නවා ද?

සමාජගත වීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සාරා බෙල්
    • Role, ගෝලීය සෞඛ්‍ය, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ව්‍යායාමවල නිරත වීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම තරමට ම අන් අය සමග කාලය ගත කිරීම ඔබේ සෞඛ්‍යයට වැදගත් වන බව ඔබ දැන සිටියා ද?

සමාජගත වීම බොහෝවිට වින්දනයක් ලෙස හැඟෙන නමුත් ඉන් අපගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය යන දෙක ම ඉහළ නැංවෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්නායු විද්‍යාඥ බෙන් රයින් පවසයි.

"අපි අනෙක් අය සමග සම්බන්ධ වෙනකොට, අපට සාමාන්‍යයෙන් යහපත් හැඟීමක් ඇති වෙනවා. ඒ අපගේ මොළයේ තියෙන සමාජ ප්‍රතිලාභ පද්ධති (social reward systems) නිසා අප තුළ යහපත් හැඟීමක් ඇති වෙනවා," ඔහු බීබීසීයට පවසයි.

අප සමාජගත වන විට, මොළය අපට හොඳ හැඟීමක් ඇති කරන ඔක්සිටොක්සින්, ඩොපමයින් සහ සෙරොටොනින් වැනි රසායනික ද්‍රව්‍ය නිකුත් කරයි. මෙය පරිණාමයේ ආරම්භයේ සිට පැමිණෙන දෙයක් වන අතර, කණ්ඩායමක් වශයෙන් ජීවත් වීම පැවැත්ම සඳහා වැදගත් වේ.

Picture of four friends, leaning together and looking down at a camera which is looking up at them from the ground. They are all smiling. The two men have shorts, one has a tank top and neck scarf, the other a patterned shirt. One woman wears a denim playsuit, the other a green patterned long skirt and white crossover top. They are outdoors with a blue sky and scattered white clouds.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අප අන් අය සමග කාලය ගත කරන විට අපගේ මොළය රසායනික ද්‍රව්‍ය නිකුත් කරමින් අපට ප්‍රතිලාභ පිරිනමයි

"අපි ඇත්තට ම මෙම අවස්ථා බැරෑරුම් ලෙස සැලකිය යුතු යි. අන් පුද්ගලයින් සමග සම්බන්ධ වීම හරහා අපගේ යහපැවැත්ම වැඩිදියුණු වෙනවා," රයින් පවසයි. Why Brains Need Friends: The Neuroscience of Social Connection නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු මෙම තර්ක ඉදිරිපත් කරයි.

ආදර හෝමෝනය ලෙස හැඳින්වෙන ඔක්සිටොක්සින්වල කාර්යභාරය ඊට හොඳ උදාහරණයකි. එය ස්වභාවධර්මයේ ඖෂධය ලෙස ද හැඳින්වේ.

"ඔක්සිටොක්සින් ආම්ලිකතාව අඩු කරන්න වගේ ම මොළය ආරක්ෂා කරන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහ අස්ථි වර්ධනයට සහය වෙනවා. සමාජ ආතතිය අඩු කිරීමටත් උපකාරී වෙනවා," රයින් පවසයි.

මානව විශේෂය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීමේ පරිණාමීය අරමුණක් ඊට ඇත. ප්‍රේම සබඳතාවකදී අපි අපගේ සහකරු සමග සංසර්ගයේ යෙදීමට කැමත්තක් ඇති විට වගේ ම දෙමාපියන් සහ දරුවා අතර ඇති බැඳීම යන ප්‍රධාන සබඳතා දෙක තුළදී මෙය උච්ඡතම අවස්ථාවට පැමිණේ.

"එය ඔබේ සිරුර ආරක්ෂා කරනවා.. එතකොට අපේ දරුවන්ට සහය වෙන්න පුළුවන්,"නිව් යෝර්ක්, බෆලෝහි ඇමරිකානු විද්‍යාඥයා පවසයි.

සමාජ සම්බන්ධතා දුර්වල වීම අපට අහිතකර වන්නේ ඇයි?

බොහෝ පර්යේෂණවලින් පෙනී යන්නේ, හුදෙකලාව මානසික සෞඛ්‍යයට බරපතළ ලෙස හානි කළ හැකි බව සහ කාංසාව, මානසික අවපීඩනය, සියදිවි නසාගැනීම් සහ ආතතිය ඇතිවීමේ අවදානම වැඩි කරන බව ය.

අධික හුදෙකලාව, අන් අය සමග ඉතා අවම හෝ සම්බන්ධතා නොමැති වීම පුද්ගල මරණ අවදානම වැඩි කරයි. ඇතැම් අධ්‍යයනවලින් කියැවෙන්නේ හුදෙකලාව මරණ අවදානම 32%කින් වැඩි කිරීමට හේතු වන බව ය.

හුදකලාව ඔබව ක්ෂණිකව මරණයට පත් නොකරන නමුත් එයට හෘද රෝග, දියවැඩියාව සහ ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානම වැඩි කරන ආතතියක් ඇති කළ හැකි බව රයින් පවසයි.

මෙයට හේතුව වන්නේ, ශරීරයෙන් වැඩි කෝටිසෝල් ප්‍රමාණයක් මුදා හැරීම හරහා නිදන්ගත ආම්ලිකතාව සමග එය සිරුරේ නිරෝගී පටකවලට ඇති කරන හානිය සමග එවැනි රෝග තත්ත්වයන් ඇති කළ හැක.

"දිගු කාලීන ආතතිය මොළය වගේ ම සිරුරේ පටකවලට වෙහෙසකර තත්ත්වයක් ඇති කරන අතර එයට නිදන්ගත ආම්ලිකතාව ඇති කරවන ජීව විද්‍යාත්මක බලපෑමක් ඇති කළ හැකි යි," රයින් පවසයි.

අපි අඩුවෙන් සමාජගත වන්නේ ඇයි?

සමාජකරණය අපට හොඳ හැඟීමක් ඇති කරයි නම්, බොහෝ අය එය අඩුවෙන් කරන්නේ ඇයි? රයින් මෙය 'පශ්චාත්-අන්තර්ක්‍රියා ලෝකය' ලෙස හඳුන්වයි.

එයට ප්‍රධාන හේතුවක් වන්නේ, 'සියල්ල ස්වයංක්‍රීයකරණය' කිරීම බවත් එය අනෙක් පුද්ගලයින් මුහුණට මුහුණ හමුවීමේ අවස්ථා අඩු කර ඇති බවත් ඔහු පවසයි.

සිල්ලර වෙළෙඳසලක් තුළ ස්වයං-මිල ගෙවීමේ ක්‍රමයේ වර්ධනය වන භාවිතය උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙයි. "දැන් ඔබට අයකැමියෙකු සමග අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය නැහා - ඒ කියන්නේ ඔබට අවශ්‍ය සිල්ලර බඩු ඉන්ටර්නෙට් හරහා ඇණවුම් කරන්න පුළුවන්," ඔහු පවසයි.

කොවිඩ් වසංගතය අතරතුර මිනිසුන් අතර ඇති වූ දරුණු හුදෙකලාව විශාල බලපෑමක් ඇති කළ බවත්, ඉන් පසුව ද අන්තර්ක්‍රියාකාරිත්වයක් අවම තත්ත්වයකට පත් කිරීමට අපව පොළඹවා ඇති බවත් රයින් පවසයි.

"ඇත්තට ම අපි අපේ අවශ්‍යතා මාරු කරලා නැහැ. අපිට තවමත් කලින් වගේ සම්බන්ධකම් පැවැත්වීම අවශ්‍ය යි," ඔහු පවසයි.

Headshot of Ben Rein. He has short light brown hair and a brown beard. He is pictured indoors, in a white lab coat and a blue and white checked shirt. 

බෙන් රයින්ගේ ඡායාරූපයක්. ඔහුට කෙටි ලා දුඹුරු හිසකෙස් සහ දුඹුරු රැවුලක් ඇත. ඔහු සුදු රසායනාගාර කබායක් සහ නිල් සහ සුදු කොටු කළ කමිසයක් පැළඳ  සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Elena Zhukova

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙන් රයින් ඉන්ටර්නෙට් සන්නිවේදනය හඳුන්වන්නේ සමාජගත මොළයට ලැබෙන නරක ආහාරයක් ලෙස ය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොරෝනා වසංගතය අපගේ මාර්ගගත සන්නිවේදන භාවිතය වැඩි කළේ ය. සමාජ මාධ්‍ය භාවිත කිරීම හුදෙකලා වීම තරම් ම මානසික අවපීඩනය සහ කාංසාව ඇතිවීමේ අවදානමක් ඇති කළ හැකි ය. ඒ ඔබ පෞද්ගලිකව මිනිසුන් සමග නොසිටින බැවිනි.

එය පහසු වුව ද, මුහුණට මුහුණ හමුවී කටයුතු කිරීමට මිනිසුන් පරිණාමය වී ඇති පසුබිමක ඉන්ටර්නෙට් ඔස්සේ සිදුවන සන්නිවේදනය අපගේ මොළය එතරම් තෘප්තිමත් නොකරයි.

"ඒක සමාජගත මොළයට නරක ආහාරයක් වගේ. සම්බන්ධතාවකට නම් ඒක ලේසි ක්‍රමයක්. ඒත් සැබෑ සම්බන්ධකමකට මේක ආදේශකයක් නෙමෙයි. ඒ නිසා අපි මේ හුදෙකලා තත්ත්වයට ඇද වැටෙනවා," ඔහු පවසයි.

හැකි තාක් අන්තර් සම්බන්ධකම් "ඉහළ මට්ටමකට ගෙන ඒමට" උත්සහ කරන ලෙස රයින් උපදෙස් දෙයි.

"ඉතින් ඔබ කාට හෝ කෙටි පණිවිඩයක් යවනවා නම්, ඔවුන් එක්ක දුරකතන ඇමතුමකට සම්බන්ධ වෙන්න. ඔබ දුරකතන ඇමතුමකින් නම් කතා කරන්නේ ඔවුන් එක්ක වීඩියෝ ඇමතුමක් ලබා ගන්න පුළුවන් ද කියලා බලන්න. ඔබ වීඩියෝ ඇමතුමක් නම් ගන්නේ ඔවුන්ව පෞද්ගලිකව හමුවෙන්න පුළුවන් ද කියලා බලන්න. ඔබ අන්තර්ක්‍රියාවලට වැඩි ගැඹුරක් සහ ගුණාත්මක බවක් ගෙන ඒම හරහා ඔබේ මොළයට ලැබෙන ප්‍රයෝජන බොහෝ යි," ඔහු පවසයි.

මෙය හුදෙකලා පුද්ගලයින්ට බලපාන්නේ කෙසේ ද?

සෑම කෙනෙකු ම අභ්‍යන්තරික සහ බාහිරකරණය අතර කොතැනක හෝ සිටින අතර, අපට ගැලපෙන නිවැරදි සමාජ අන්තර්ක්‍රියා මට්ටම සොයා ගැනීම වැදගත් බව රයින් පැහැදිලි කරයි.

නිතර සමාජගත වීමෙන් ප්‍රතිලාභ ලබන බාහිර පුද්ගලයන් නිතිපතා ජලය දැමීම අවශ්‍ය වන ශාක වැනි බවත් එසේ නොවුණහොත් ඔවුන් පීඩාවට ලක්වන බවත් ඔහු පවසයි.

නමුත් අන් අය සමග ගැවසීමට වඩා තනිව සිටීමට කැමති නිහඬ, ලජ්ජාශීලී පුද්ගලයින් යනු ඉඳහිට වතුර දැමිය හැකි ශාක හා සමාන ය. ඔබට පහසුවෙන් ඒවාට අධික ලෙස වතුර දැමිය හැකි ය. එය ඔවුන්ගේ සෞඛ්‍යයට ද අහිතකර වේ. නමුත් ඔබ කිසි විටෙකත් ශාකයට වතුර නොදමන්නේ නම්, එය නිරෝගී ශාකයක් නොවනු ඇත.

"අපි අපගේ මොළයට ඇති අවශ්‍යතා සපුරාගන්න ඕනෙ. පළමු පියවර තමයි එම අවශ්‍යතා මොනවා ද කියලා තේරුම් ගන්න එක."

රයින් පවසන්නේ, විවිධ මට්ටම්වල අන්තර්ක්‍රියා සියල්ලට ම ප්‍රතිලාභ ඇති බව හඳුනා ගැනීම වැදගත් බව ය. ඔහු එය නොගැඹුරු සහ ගැඹුරු යන දෙක ම ඇති ජල තටාකයක් ලෙස සිතින් මවා ගනී.

අසල්වැසියෙකුට අත වැනීම වැනි කුඩා අන්තර්ක්‍රියාවකින් පවා ඔබව වඩාත් සතුටට පත් කළ හැකි ය. සුපිරි වෙළෙඳසලක පෝලිමේ සිටින විට හමුවන ආගන්තුකයෙකු සමග කතාබස් කිරීමෙන් ඔබට තවත් ඉදිරියට යා හැකි ය, නැත්නම් සමිප මිතුරෙකු සමග සැබවින් ම ගැඹුරු අර්ථවත් සංවාදයක නිරත විය හැකි ය.

"හැම වෙලාවෙ ම ගැඹුරට යන්න ඕන නෑ; වැදගත් ම දේ තමයි සම්බන්ධකම් පවත්වන එක වගේ ම සමාජ අන්තර්ක්‍රියාවලින් ඈත් නොවී ඉන්න එක," ඔහු පවසයි.

සම්බන්ධතාවන්ට අපගේ පුද්ගල යහපැවැත්ම වැඩිදියුණු කළ හැකි අතර, එය මුළු ලෝකයට ම විශාල බලපෑමක් ඇති කළ හැකි බව රයින් විශ්වාස කරයි.

"එකිනෙකාට කරුණාවන්ත වීම හරහා බොහෝ ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක සහ සංස්කෘතික ප්‍රතිලාභ ලැබෙනවා. අපි ඒවායින් වැඩියෙන් ප්‍රයෝජන නොගැනීම පුදුමසහගත යි," ඔහු පවසයි.