කොළඹ ජල සැපයුම තවදුරටත් අඩාළ වේවි ද?: ජල කප්පාදුව කොපමණ කාලයක් පවතී ද?

Water drop in faucet

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

පවතින වියළි කාලගුණය හමුවේ ඉදිරි කාලය ජලය කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මතු වන කාලයක් වනු ඇතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවා තිබේ.

එහි සභාපති ඉන්ජිනේරු චන්දන බණ්ඩාර අප්‍රේල් 2 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, "ඉදිරි සති දෙක තුන" ජනතාවට "යම් විශේෂ කාලයක්" වනු ඇති බව ය.

"කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක කරන සාකච්ඡාවලදී සහ ඔවුන්ගෙන් ලබා ගන්නා තොරතුරු අනුව අපිට දැනගන්න ලැබිලා තියෙනවා ඉදිරි සති දෙක තුන ඇතුළත වර්ෂාපතනයේ බොහෝ අඩු වීමක්, සමහර වෙලාවට වර්ෂාපතනය නොලැබී යන්න ඉඩ තියෙනවා."

"මේකත් එක්ක අපිට ජලය සැපයීමේ හැකියාව එන්න එන්න ම සීමා තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා," සභාපතිවරයා එහිදී අනතුරු ඇඟවීය.

ඔහු අවධාරණය කළේ, ජල මූලාශ්‍රවල ධාරිතාව අඩු මට්ටමකට පැමිණෙමින් තිබීමත් ඉදිරි කාලය තුළ වර්ෂාව නොලැබීමත් යන සාධක මත "තත්ත්වය තවදුරටත් නරක තත්ත්වයට," පත් වීමට ඉඩ ඇති බව ය.

කෙසේ වෙතත්, මේ දක්වා මෙහි බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යධිකාරි (නිෂ්පාදන) ලලිත් විජේසිංහ පැවසීය.

ඒ අනුව, මෙම තත්ත්වය කළමනාකරණය කිරීමේ මූලික පියවරක් ලෙස පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදියර වශයෙන් පැය 18ක කාලයක් ජලය කප්පාදු කිරීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.

ජලය කප්පාදු කෙරෙන ප්‍රදේශ මොනවා ද?

ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 2 වන දා රාත්‍රී 8:00 සිට අප්‍රේල් 3 වන දා දක්වා පැය 18ක කාලයක් ජලය කප්පාදු කරන බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් අනතුරුව එම ප්‍රදේශ සඳහා දින හතරක කාලයක් සඳහා අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු කෙරේ.

අනතුරුව නැවතත් අප්‍රේල් මස 7 වන දා පාදුක්ක ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

තව ද, අප්‍රේල් 3 වන දා රාත්‍රි 8.00 සිට අප්‍රේල් 4 වන දා දක්වා පැය 18ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජලය කප්පාදු සිදු කිරීමට සැලසුම් කර ඇත.

නැවතත් එම ප්‍රදේශයට දින හතරක් අඛණ්ඩව ජලය සැපයීමෙන් අනතුරුව යළිත් අප්‍රේල් 8 වන දා ජලය කප්පාදු කෙරෙනු ඇත.

පැලැන්වත්ත ප්‍රදේශයට අප්‍රේල් මස 4 වන දා රාත්‍රී 8.00 සිට අප්‍රේල් 5 වන දා දක්වා පැය 18ක කාලයක් ජලය කප්පාදු කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව දින 4ක් අඛණ්ඩව එම ප්‍රදේශයට ජලය ලබා දී නැවතත් අප්‍රේල් 9 වන දා ජල සැපයීම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, දැනට සැලසුම් කර ඇති ජලය කප්පාදු කිරීම හෝ සීමා කිරීම් අප්‍රේල් 2 වන දා සිට අප්‍රේල් 10 වන දා දක්වා සිදු කරන අතර ඒ පිළිබඳ විස්තර SMS මගින් අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන බව ද ජාතික ජල සම්පාදන මණ්ඩලය පැවසීය.

සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ආසන්න වශයෙන් 150,000ක් පමණ ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බව ය.

කොළඹට ජලය සැපයෙන ජලාශවල තත්ත්වය කුමක් ද?

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් රට පුරා දිනකට ජලය ඝන මීටර් මිලියන 2.5ක් නිෂ්පාදනය කරන බවත් ඉන් ජලය ඝන මීටර් මිලියන 1.25ක් ම නිෂ්පාදනය කරනු ලබන්නේ, බස්නාහිර පළාත සඳහා බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යධිකාරී (නිෂ්පාදන) ලලිත් විජේසිංහ පැවසීය.

"කොළඹ දිස්ත්‍රික්කයට ඝන මීටර් හත් ලක්ෂයක්, ගම්පහ දිස්ත්‍රික්කයට ඝන මීටර් හාර ලක්ෂ පනස් දාහක් සහ කළුතර දිස්ත්‍රික්කයට ඝන මීටර් එක් ලක්ෂ අසූදාහක් වගේ තමා අපි නිෂ්පාදනය කරලා බෙදා හරින්නේ.

"බස්නාහිර පළාතේ ජල සම්පාදනය පවත්වා ගන්න අදටත් අපි ජල ඝන මීටර් 1.25 බෙදා හරිනවා. නමුත් අපිට ඒක කන්ට්‍රොල් කරන්න වෙලා තියෙනවා," ඔහු පැවසීය.

අඹතලේ, ලබුගම හා කලටුවාව ජලාශ මගින් කොළඹ දිස්ත්‍රික්කය වෙත ජලය ලබා දුන්න ද, මේ වන විට ගැටලුව උද්ගතව ඇත්තේ ලබුගම සහ කලටුවාව ජලාශවල පමණක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

"කලටුවාව ජලාශයෙන් අපි දවසට ඝන මීටර් අනූ දාහක් ගන්නවා. අපිට දැන් මේ ජලය සීමා වෙලා තියෙන්නේ දින 22කට පමණයි," ඔහු පවතින තත්ත්වය පැහැදිලි කළේ ය.

"ඒ වගේ ම ලබුගම ජලාශය සීමා වෙලා තියෙනවා දින 50කට. ඒක නිසා අපිට ඉක්මනින් ම සිද්ධ වෙලා තියෙනවා මෙම ජලාශවලින් ගන්න ජල ප්‍රමාණය අඩු කරන්න.

"අපි බලාපොරොත්තු වෙනවා කලටුවාව ජලා පවිත්‍රාගාරයෙන් ලබා ගන්නා ජල ප්‍රමාණය ඝන මීටර් පහළොස් දාහකට විතර අඩු කරන්න," ඔහු පැවසීය.

කෙසේ වෙතත් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වෙත ජලය සැපයීම සමාන්‍ය පරිදි සිදුවන බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යධිකාරී (නිෂ්පාදන) ලලිත් විජේසිංහ සඳහන් කළේ ය.

එමෙන් ම සඳහන් කළේ, මහවැලි ජලාශවල "තවමත් 55-60% අතර ප්‍රමාණයක ජල ධාරිතාවක්," පවතින බව ය.

වැසි අපේක්ෂා කළ හැක්කේ කවදා ද?

දිවයින පුරා පවතින වියළි කාලගුණ තත්ත්වය මැයි මස මැද භාගය වන විට පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් බීබීසී සිංහල වෙත පැවසීය.

"දැනට නම් ටිකක් වැස්ස තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාව පුරා ම වගේ. සාමාන්‍යයෙන් 6 වෙනිදා වගේ විතර වෙනකම් මේ තත්ත්වය බලාපොරොත්තු වෙනවා. තාවකාලික සහනයක් තියෙනවා," ඔහු සඳහන් කළේ ය.

ජල මූලාශ්‍ර පෝෂණය කිරීමට ප්‍රමාණවත් තරම් වර්ෂාවක් ඊට පෙර අපේක්ෂා කළ හැකි ද? යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල ඔහුගෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය: "පොඩි පොඩි වැසි යනවා. මි.මී 50 - 75 මට්ටමේ වැස්ස තියෙනවා. තැන් තැන්වල වහින වැසි තියෙන්නේ. වලාකුළු වර්ධනය වෙච්ච තැන්වල වැස්ස වහිනවා."