IPL 2025: කොවිඩ් නිසා වසර 5ක් තිස්සේ පන්දු යවන්නන් අසරණ කළ තහනම අද ඉවතට

අද ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී පන්දු යවන්නන්ට ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා කෙළ භාවිතා කිරීමට අවසර ලැබෙන අතර, මේ සමග ම   වසර පහකට පෙර කොවිඩ් වසංගත සමයේ පන්දු යවන්නන්ට පැනවූ  තහනම ඉවත් කෙරෙන බව වාර්තා වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සූතික් බිස්වාස්
    • Role, ඉන්දීය වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 5

අද (මාර්තු 22) ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී පන්දු යවන්නන්ට පන්දුව ඔප දැමීම සඳහා කෙළ භාවිත කිරීමට අවසර ලැබෙන අතර, මේ සමග ම වසර පහකට පෙර කොවිඩ් වසංගත සමයේ පන්දු යවන්නන්ට පැනවූ තහනම ඉවත් කෙරෙන බව වාර්තා වේ.

බ්‍රහස්පතින්දා පැවති රැස්වීමකදී තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල නායකයින්ගෙන් බහුතරයක් මෙම ක්‍රියාමාර්ගයට සහය දැක්වීමෙන් පසුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගත් බව ESPN cricinfo අනාවරණය කළේ ය.

කොවිඩ් වසංගතය අතරතුර වෛද්‍ය උපදෙස් මත 2020 මැයි මාසයේදී පන්දුව ඔප දැමීම සඳහා කෙළ භාවිත කිරීම වළක්වමින් තාවකාලික තහනමක් හඳුන්වා දෙනු ලැබූ අතර, දහදිය භාවිතයට අවසර තිබිණි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2022 සැප්තැම්බර් මාසයේදී එම තහනම ස්ථිර කළේ ය.

පන්දුව දෝලනය කිරීම සඳහා ක්‍රීඩකයෝ පන්දුවේ එක් පැත්තක් ඔප දැමීමට කෙළ සහ දහදිය භාවිත කරති.

පන්දුව ඔප දැමීමට කෙළ භාවිතය තහනම් කරන ලද්දේ, කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවම කිරීමේ අරමුණිනි.

වේග පන්දු යවන්නන්ට පන්දුවේ ඔපය පවත්වා ගැනීමට කෙළ උපකාරී වන අතර, එය සියවසකට වැඩි කාලයක් ක්‍රිකට් පන්දු යැවීමේ යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රධාන අංගයක් වන පන්දුවේ දෝලනය සඳහා උපකාරී වන අසමතුලිතතාවක් ඉන් නිර්මාණය වෙයි.

එය පන්දු යවන්නන්ට ප්‍රතිලෝම දෝලනයක් ජනනය කිරීමට ද උපකාරී වේ, එහිදී පන්දුව අපේක්ෂා කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරයි. වියළි කාලගුණික තත්ත්වයන් යටතේ හෝ පරණ වූ පන්දු සමග මෙය විශේෂයෙන් වැදගත් වේ.

සාමාන්‍යයෙන් එක්දින සහ පන්දු වාර 20 වැනි සුදු පන්දු ක්‍රීඩා ආකෘතිවලට වඩා ටෙස්ට් තරගවලදී භාවිත කරන රතු පන්දුව දෝලනය කිරීම පහසු කර ගැනීම සඳහා කෙළ වඩාත් ඵලදායී වේ.

රතු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේදී, පන්දුව දිගු කාලයක් භාවිත කරනු ලබන අතර, එමගින් පන්දු යවන්නන්ට පන්දුවේ එක් පැත්තක් ඔප දැමීමට සහ ප්‍රතිලෝම දෝලනයක් ජනනය කිරීමට හැකියාව ලැබේ.

ලොව ධනවත් ම T20 ක්‍රිකට් ලීගය සඳහා ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය මෙම තහනම ඉවත් කිරීමට ගත් තීරණයට අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) රතු පන්දු ක්‍රිකට් සඳහා කෙළ භාවිත කිරීමේ තහනම ඉවත් කරයි ද? යන්න තවමත් පැහැදිලි නැත. ලොව ධනවත් ම ක්‍රිකට් මණ්ඩලය වන ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) හිටපු ලේකම් ජේ ෂා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවනු ලබයි.

Umpire Micheal Gough uses a wipe to disinfect a bowler's saliva from the ball on the fourth day of the second Test cricket match between England and the West Indies at Old Trafford in Manchester, northwest England on July 19, 2020. (Photo by Jon Super

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 වසරේ ්‍දී ටෙස්ට් තරගයක් අතරතුර විනිසුරු මයිකල් ගෝෆ් පන්දුවක් විෂබීජහරණය කරන අයුරු

IPL 2025 - 18 වන අදියර - යටතේ මෙම නව සංශෝධනය අදින් (මාර්තු 22) ආරම්භ වන වත්මන් ශූර කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) අතර ඊඩ්න් ගාර්ඩ්න්ස්හිදී පැවැත්වෙන තරගයේ සිට බලාත්මක වනු ඇත. මෙම තරගාවලිය මාස දෙකක් පුරා නගර 13කදී පැවැත්වෙන අතර තරග 74ක් ඊට ඇතුළත් ය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් මෙම තීරණය පිළිගෙන තිබේ.

"පන්දු යවන්නන් විදිහට‍ අපිට ඒක සුබ ආරංචියක්, මොක ද පන්දුව දෝලනය වෙන්නේ නැත්නම්, පන්දුවට කෙළ ගෑවා ම ස්වින්ග් කරන්න තියෙන අවස්ථාව වැඩි යි," සිරාජ් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් ඒජන්සියට පැවසීය.

"සමහර විට ඒක රිවර්ස් ස්වින්ග් සඳහා උපකාරී වෙනවා, මොක ද පන්දුව කමිසයේ ඇතිල්ලුවාට [රිවර්ස් ස්වින්ග් ලබා ගන්න] බැහැ. නමුත් පන්දුවේ කෙළ ගෑවා ම [එක් පැත්තක දීප්තිය] පවත්වා ගැනීමට උපකාරී වෙනවා, ඒක හරි ම වැදගත්."

තවත් ඉන්දීය වේග පන්දු යවන්නෙකු වන මොහොමඩ් ෂාමි මේ මස මුලදී තහනම ඉවත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ ය.

Royal Challengers Bengaluru's Mohammed Siraj delivers a ball during the Indian Premier League (IPL) Twenty20 cricket match between Royal Challengers Bengaluru and Delhi Capitals at the M Chinnaswamy Stadium in Bengaluru on May 12, 2024. (Photo by Idrees MOHAMMED / AFP)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තහනම ඉවත් කිරීම "විශිෂ්ට තීරණයක්" බව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් පවසයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව ලැබූ ජයග්‍රහණයෙන් පසුව, මොහොමඩ් ෂාමි පැවසුවේ, "ක්‍රීඩාවට නැවත රිවර්ස් ස්වින්ග් ගෙනැවිත් එය රසවත් කිරීමට හැකි වන පරිදි අපට කෙළ භාවිත කිරීමට ඉඩ දිය යුතු බවට අපි නිරන්තරයෙන් ආයාචනා කරනවා," යනුවෙනි.

ෂාමිගේ ඉල්ලීමට හිටපු ජාත්‍යන්තර පන්දු යවන්නන් වන වර්නන් ෆිලැන්ඩර් සහ ටිම් සවුති සහය දැක්වූහ.

මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් පවසා තිබුණේ මෙම තහනම නිසා තමා ද ව්‍යාකූල වී ඇති බව ය.

"ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පර්යේෂණ පත්‍රිකා කිහිපයක් නිකුත් කරලා තියෙනවා, ඒවායින් කියන්නේ කෙළ ප්‍රතිලෝම දෝලනයක් සඳහා එතරම් උපකාරී වෙන්නේ නැහැ කියලා, පන්දුවේ කෙළ ගැවේ නැහැ කියලා විශාල වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඔවුන් පර්යේෂණ කළේ කොහොම ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි නම් කෙළ භාවිත කරන්න කොහොම හරි අවසර දිය යුතු යි," ඔහු සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ පැවසීය.

ක්‍රීඩා ලේඛිකා ශාර්දා උග්‍රා පවසන්නේ, කෙළ තහනම ඉවත් කිරීම පිත්ත සහ පන්දුව අතර තරගය "වඩාත් සමබර" කිරීමට උපකාරී වනු ඇති බව ය.

බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ, පිතිකරුවන්ට හිතකර තණතිලිවල පන්දු යවන්නන්ට කඩුලු ලබා ගැනීමේ අවස්ථාව සීමිත බව ය. 2013 වර්ෂයේදී පූනේ කණ්ඩායමට එරෙහිව RCB කඩුලු 5කට ලකුණු 263ක් ලබා ගනිමින් පිහිටුවන ලද ඉනිමක ඉහළම IPL ලකුණු සංඛ්‍යාව 2024 වසරේදී සිව් වතාවක් ඉක්මවා ගියේ ය. තරගාවලි 17ක් තුළ, ලකුණු 250 ඉක්මවා ගිය අවස්ථා 10ක් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, තහනම ඉවත් කිරීම පන්දු යැවීමට කෙතරම් බලපෑමක් ඇති කරයි ද යන්න පැහැදිලි නැති බව උග්‍රා වැඩිදුරටත් පැවසුවා ය.

"දෝලනය ජනනය කරන එක ම සාධකය කෙළ නෙමෙයි - ඒකට අනෙක් තත්ත්වයන් ද සම්පූර්ණ විය යුතු යි. දක්ෂ පන්දු යවන්නෙක් වීම තමා වැදගත් ම," ඇය බීබීසීයට පැවසුවා ය.

ඉන්දියාවේ වෙන්කටේෂ් ප්‍රසාද් වැනි හිටපු වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක් ද මේ වෙනස සම්බන්ධයෙන් අවවාද ලබා දුන්හ.

"කෙළ ගෑම තහනම් කළේ පිරිසිදුකම පවත්වා ගන්න. අද කාලේ ඕනෑ ම දෙයක් වෙන්න පුළුන්, නව වෛරස කොච්චරක් - කවදා වාතයට ඇතුළු වෙයි ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා, තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ඔබ ඉතා ප්‍රවේශම් විය යුතු යැයි මම හිතනවා," ප්‍රසාද් මේ මස මුලදී ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට පැවසීය.