උගන්ඩා පාසැල් ප්‍රහාරය:'ගායනාවන් කෑගැසීම්වලට හැරුණා'

ඡායාරූප ශීර්ෂ වැකිය, නින්දට යෑමට පෙර සිසුන් ගයන ආකාරය තමාට නිතර ඇසෙනබව පාසැල ඉදිරිපිට පදිංචි මේරි මසිකා පවසයි

සිකුරාදා (ජූනි 16) උගන්ඩාවේ පාසැලකට ඉස්ලාමීය සටන්කාමීන්ගේ දරුණු ප්‍රහාරයක් එල්ලවීමට ප්‍රථම, පාසැල් දරුවන් සුබාරංචි ගී ගායනා කරමින් සිටිබව පාසැල ඉදිරිපස නිවෙසක වාසය කරන කාන්තාවක් පවසයි.

"ඊට පස්සෙ මට යටි ගිරියෙන් කෑගහනවා ඇහුණා," මේරි මසිකා බීබීසීයට පැවසුවා ය. ම්පොන්ද්වේහි සිදුවූ මේ දරුණු ප්‍රහාරයෙන් 40 දෙනෙකු පමණ ඝාතනය විය.

ප්‍රහාරය සඳහා චෝදනා එල්ලවී ඇත්තේ ඉස්ලාමික රාජ්‍යයට සම්බන්ධ සටන්කාමීන් වෙත ය.

'මිත්‍රපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී බලකායන්' (ADF) සංවිධානය, 1990 ගණන්වල දී නිර්මාණය කරන ලද්දකි. එය, උගන්ඩාවේ ජනපති යොවෙරි මුසෙවෙනි මුස්ලිම්වරුන්ට හිංසා කළබවට චෝදනා කරමින් ඔහුට එරෙහිව අවි අතට ගත්තේ ය.

ඔවුන් බොහෝකොටම ක්‍රියාත්මකවන්නේ අසල්වැසි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිට ය.

සිකුරාදා ප්‍රහාරයට ලක්වූ ම්පොන්ද්වේ ලුබිරිහා ද්විතියික විද්‍යාලයය පිහිටා තිබෙන්නේ දේශසීමාවට ආසන්නයේ ය.

මිනිත්තු 90ක් පමණ වේලාවක් පැවැති ප්‍රහාරය නිසා ඇය හා අනෙක් ගම්වාසීන් මහත් බියට පැමිණිබව මසිකා පවසන්නී ය.

අවවාදය යි: ඇතැම් පාඨකයින්ට පීඩාකාරී විය හැකි තොරතුරු අඩංගු ය

"එදායින් පස්සෙ මට කන්න බොන්න බෑ, නින්ද යන්නේ නෑ," ඇය ස්වහිලි බසින් බීබීසීයට පැවසුවා ය.

අදාළ පාසලේ ශිෂ්‍යයෝ සාමාන්‍යයෙන් නින්දට පෙර ගී ගයති - එනිසා, එදා රාත්‍රියේ 10:00ට පමණ ඔවුන්ගේ ගී හඬට බාධා කරමින් නැගුණු ශබ්දය ඔවුන් විනෝදවන නිසාවෙන් නැගෙන ශබ්දයක්බව මසිකා හා ඇගේ දියණිය සිතූහ.

නමුත් කුඩා ඉඩකඩක් තුළ නේවාසික සිසුන් 60ක් පමණ වෙසෙන පාසැල තුළ කුමක් හෝ භයානක දෙයක් සිදුවෙමින් පවතිනබව ඉක්මණින්ම පැහැදිලිවිය.

ADF සටන්කාමීහු පාසැලේ නිදන ශාලා තුළට ඇතුළුවී ඒවාට ගිනි තබමින්, මන්නා පිහි යොදාගෙන සිසුන් ඝාතනය කරමින් හා අඟපසඟ සිඳ දමමින් සිටියහ.

ප්‍රහාරයේ දී මියගිය පියෙකු හා පුතෙකු වෙනුවෙන් ම්පොන්ද්වේහි එක් පවුලක් ඉරිදා අවමංගල උත්සවයක් පැවැත්වූහ - ඒ, හතළිස් හත් හැවිරිදි ආරක්ෂක නිලධාරී එල්ෆනාස් ම්බුසා හා 17-හැවිරිදි මසෙරෙකා එල්ටන් වෙනුවෙනි.

ඡායාරූප ශීර්ෂ වැකිය, හුරුබනා කිමාදි ඔනෙස්මස්ට පාසැලේ මුරකරුවෙකු වූ ඔහුගේ පුත්‍රයා සහ අවම වශයෙන් එක් මුණුබුරෙකු අහිමිවී තිබේ - අනෙක් මුණුබුරා පැහැරගෙනගොස් තිබේ ද යන්න පැහැදිලි නැත

එම පාසැලේම ඉගෙනුම ලද ඔවුන්ගේ අනෙක් පුතු වන 15-හැවිරිදි බ්‍රයන් මුහින්දෝ අතුරුදන්ව සිටියි. ඔහු පැහැරගෙනයෑමට ලක්වූ පිරිමි දරුවන් සයදෙනා අතර සිටින්නේ ද, නැතහොත් හඳුනාගැනීමට නොහැකි තරම් දැඩි සේ පිළිස්සුණු සිරුරුවලින් එකක්දැ යි ඔවුහු නොදනිති.

තම පුතු වූ ආරක්ෂක නිලධාරියා සේවය කළ, තම මුණුබුරන් ඉගෙනගත් පාසැලට රිංගාගැනීමට ප්‍රහාරකයින්ට හැකිවූයේ කෙසේදැ යි තේරුම් ගැනීම අපහසුබව හුරුබනා කිමාදි ඔනෙස්මස් බීබීසීය වෙත පැවසීය.

"මේ හරියෙ හමුදාවෙ අය සෑහෙන ඉන්නවා," 69-හැවිරිදි ඔහු පැවසුවේ ය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ම්පොන්ද්වේහි පාසලේ දර්ශන ඡායාරූපගත කිරීමට බීබීසී කණ්ඩායමට මිනිත්තු කිහිපයක් ලැබිණ

මේ වන විට පාසැලේ ආරක්ෂාව තරකර ඇති අතර, දැවුණු ගොඩනැගිලිවල ඡායාරූප කීපයක් ලබාගැනීම සඳහා බීබීසීය වෙත ලැබුණේ මිනිත්තු කීපයකි.

එය විනාශකාරී, සිත් කම්පා කරවනසුළු දර්ශනයක් විය.

දැරියන්ගේ නිදන ශාලාවට පිටත භූමිය මත තවමත් වියළි රුධිරය බොහෝ ය. දැරියන් මන්නා යොදාගෙන කපා කොටා දමා තිබූ අතර, ඔවුන් එතැනින් ඉවතට දිව යන විට වෙඩි තබා තිබුණි.

දරුවන්ගේ නිදන ශාලාව අගුළු ලා තිබුණි - ඔවුන් එක්කෝ සටන්කාමීන් පැමිණි විට දොර විවර කිරීම ප්‍රතික්ෂේප කරන්නට හෝ සටන්කාමීන් විසින් දරුවන් එතුළට දමා අගුළුලන්නට හෝ ඇත. සටන්කාමීහු ගොඩනැගිල්ලට ඉන්ධන වත්කර ගිනි තබා තිබුණි.

එය තුළ වූ මරණයේ ගන්ධය නොවරදින ලෙස හඳුනාගත හැකි ය - ඇඳන්, හුදෙක් කම්බි රාමුබවට පත්ව තිබී අතර තවමත් ඒවායේ මස් කැබලි පැටලී තිබුණි.

ඡායාරූප ශීර්ෂ වැකිය, පිරිමි දරුවන්ගේ නිදන ශාලාවේ දොර අගුළුලනු ලැබුවේ සිසුන් විසින් ද, නැතහොත් සටන්කාමීන් විසින් ද යන්න අපැහැදිලි ය

ප්‍රහාරයේ අවසානයට ආසන්නවෙද්දී, රාත්‍රී 11:30ට පමණ, ඇගේ ගේට්ටුව අසල සිටි සටන්කාමියෙකු "වැඩේ හරිදැ"යි ඔහුගේ සගයෙකුගෙන් විමසනු ඇයට ඇසුණුබව මසිකා පැවසුවා ය.

ඔවුන් එම ප්‍රදේශයේ පොදු භාෂාව වූ ස්වහිලි බසින් කතාබහකර ඇති අතර, අනතුරුව "අල්ලාහු අක්බර්!" යනුවෙන් හඬගෑම අරඹා තිබේ. 'අල්ලාහු අක්බර්' යන්නෙහි තේරුම 'දෙවියන් උතුම් ය' යන්න යි.

මේ සජ්ජායනාවෙන් පසු, "අපි මුසෙවෙනිගේ රට අස්ථාවර කරන එක හොඳින්ම කළා," යි ඔවුන්ගෙන් එකෙකු පවසා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් මියගියවුන් සඳහා අවමංගල උත්සවයන් කීපයක් ඉරිදා සිදුකෙරිණි

මීට ප්‍රතිචාර ලෙස, උගන්ඩාව හා කොංගෝව අතර දේශසීමාවේ පිහිටි රුවෙන්සොරි කඳු වෙත තවත් හමුදා බලකායන් යවනබවට ජනපති මුසෙවෙනි ප්‍රතිඥා දුන්නේ ය. "ඔවුන්ගේ මේ ක්‍රියාව... මේ තේරුමක් නැති, බියසුළු, ත්‍රස්තවාදී ක්‍රියාව... මේකෙන් ඔවුන්ව ආරක්ෂා වෙන්නේ නැහැ,"යි ද ඔහු ප්‍රකාශ කළේ ය.

ම්පොන්ද්වේ අවට ප්‍රදේශයේ ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමිකයින් එකට මුසුවී වසනබව පෙනෙයි. ඉරිදා පැවැති අවමඟුල්වලට පැමිණ සිටි ඇතැමුන් සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුමින් සැරසී සිටියේ ය.

ප්‍රහාරයෙන් මියගිය අනෙකුත් සිසුන් සඳහා වූ අවමංගලෝත්සවයන් ප්‍රදේශයේ ගම්‍ රැසක දී පැවැත්විණි. ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය විසින් බොහෝදෙනා මහත් කම්පනයට හා වේදනාවට පත්කර තිබේ.