ක්‍රිකට් චැම්පියන්ස් කුසලානයේ ජයග්‍රාහකයින්ට සුදු පැහැති ජැකට් පිරිනමන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව වාර්තාගත තෙවතාවක් චැම්පියන්ස් කුසලානය දිනාගෙන තිබේ.
කියවීමේ කාලය: මිනිත්තු 3

ඉරිදා දිනයේ ඉන්දියාව ඔවුන්ගේ චැම්පියන්ස් ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය සැමරූ විට, රෝහිත් ෂර්මා ඩුබායි අහසට ඔසවා තැබූ චැම්පියන්ස් කුසලානය දෙස පමණක් ක්‍රිකට් ලෝලීන්ගේ ඇස් යොමු නොවීය.

සමස්තයක් වශයෙන් වඩාත් ආකර්ෂණීය වූයේ, ඉන්දීය කණ්ඩායම පැළඳ සිටි සුදු පැහැති කබා ය. ඔවුහු නවසීලන්තය කඩුලු හතරකින් පරාජය කරමින් ඔවුන්ගේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නොව විලාසිතා ඉතිහාස පොත්වල ද ලියූහ.

කුසලාන ප්‍රදානෝත්සවයට පෙර බෙදා දුන්, තරගාවලි ලාංඡනය සහිත ජැකට් සංචිතයේ සෑම ක්‍රීඩකයෙක් ම පැළඳ සිටියහ.

ජයග්‍රාහී කණ්ඩායමට ඔවුන්ට ලැබෙන ජැකට් ජීවිත කාලය පුරා ම තබා ගැනීමට අවස්ථාව ලැබේ. එය ඔගස්ටාහි ගොල්ෆ් මාස්ටර්ස් ජයග්‍රාහකයාට පිරිනමන සුප්‍රසිද්ධ කොළ පැහැති ජැකට්ටුව සිහිගන්වන විශේෂ සිහිවටනයකි.

පකිස්ථානයේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන වසීම් අක්‍රම් මෙවර නව ජැකට්ටුව නිර්මාණය කරන අයුරු නරඹමින් සිටින වීඩියෝවක් සමඟ මෙම වසරේ ජැකට්ටුව එළිදක්වමින් ICC නිවේදනය කළේ විලාසිතා යනු "ශ්‍රේෂ්ඨත්වයේ සහ අධිෂ්ඨානයේ අවසාන මිනුම" බව යි.

එපමණක් නොවේ.

"සුදු ජැකට් එක කියන්නේ ශූරයන් විසින් අලංකාර කරන ලද ගෞරවයේ සංකේතයක්," ඔවුහු පැවසූහ.

"දක්ෂතාව වෙනුවෙන් නොනවතින ලුහුබැඳීම සහ පරම්පරා ගණනාවකට උත්තේජනයක් ලබා දෙන උරුමයක් මෙම ජැකට්වලින් මූර්තිමත් වෙනවා."

එමෙන් ම, ඒවා ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වේ.

සම්ප්‍රදාය ඇරඹුණේ කවදා ද? ජැකට් පැළඳි කණ්ඩායම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 අවසන් තරගයේදී නවසීලන්තය කඩුලු 6කින් පරාජය කිරීමෙන් පසු සුදු ජැකට් ඇඳ ජයග්‍රහණය සැමරූ පළමු කණ්ඩායම ඔස්ට්‍රේලියාව යි.

චැම්පියන්ස් කුසලානය ප්‍රථම වරට පැවැත්වුණේ, 1998 දී වුව ද, දකුණු අප්‍රිකාවේ පැවති 6 වන තරගාවලිය වන තෙක් එහි ජයග්‍රාහී දීමනාවට සුදු ජැකට් ඇතුළත් නොවීය.

සෙන්චූරියන්හිදී නවසීලන්තය කඩුලු 6කින් පරාජය කිරීමෙන් පසු රිකී පොන්ටින් නායකත්වය දුන් ඔස්ට්‍රේලියාව කීර්තිමත් සුදු ජැකට් හිමි කර ගත් පළමු කණ්ඩායම බවට පත් විය.

ඊළඟ තරගාවලි දෙක ම පැවතියේ, එංගලන්තය සහ වේල්ස් රාජ්‍යයේ ය.

2013 වසරේදී එජ්බැස්ටන්හිදී එක් කණ්ඩායමකට ඕවර 20කට අඩු කරන ලද තරගයකදී එංගලන්තය ලකුණු පහකින් පරාජය කළ ඉන්දියාවට මෙම ජැකට් පැළඳීමට අවස්ථාව හිමි විය.

එහෙත්, 2017 වසරේදී ඉන්දියාවට දෙවන වරට සුදු ජැකට් පිරිනැමීම වැළැක්වූයේ, ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෝඩ්ස්හිදී ලකුණු 180කින් පරාජයට පත් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය ඉනිමේදී ලකුණු 338ක් රැස් කළ පකිස්ථානය, පන්දු වාර 31කදී ඉන්දියාව ලකුණු 158කට දවා ගනිමින් 2017 චැම්පියන්ස් කුසලානය සහ ගෞරවණීය ජැකට් ද දිනා ගත්තේ ය.

ජැකට් ක්‍රීඩකයින්ගේ ශරීර ප්‍රමාණයට මනාව ගැළපෙන්නේ කෙසේ ද? පරාජය වූ කණ්ඩායමට සිදුවන්නේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2013 වසරේදී විරාට් කෝලිගේ ජැකට්ටුව ඔහුගේ සිරුරට ඉතා හොඳින් ගැළපුණු අතර එංගලන්තයට එරෙහිව ජයග්‍රහණය ලැබීමෙන් පසු ඔහුට ආකර්ෂණීය නර්තනයක නිරත වීමට ද හැකි විය.

ක්‍රීඩකයින්ට නොගැළපෙන්නේ නම් එම ජැකට් ඇඳිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපේක්ෂා නොකරයි.

මහත ශරීරයකට හිමිකම් කියන මොහොමඩ් ෂාමි, කෘෂ ස්වභාවයකින් යුතු විරාට් කෝලිට හොඳින් ගැළපෙන ජැකට්ටුවක් ඇඳීමට උත්සහ කරන ආකාරය සිතා බලන්න.

එවැන්නක් සිදුවීම වැළැක්වීමට අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් දෙකේ ම ක්‍රීඩකයින්ගේ මිනුම් ගැනීම සඳහා ඇඳුම් මසන්නෙකු යවනු ලැබේ.