විණා ජයමාන්න: ලංකාවේ උසම දිය ඇල්ල සහ නෙලුම් කුලුණෙන් පහළට බැස්ස ලංකාවේ පළමු කාන්තාව

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

මිනිසුන් වැඩියෙන් ආසා කරනුයේ නිදහසේ ජීවත් වීමටය. කෑමට බීමට මෙන්ම නිදහසේ ගමන් බිමන් යෑමටය.ඇතමුන් නවීණ ඇඳුම් විලාසිතාවන්ට කැමැතිය.

නමුත් බොහෝ විට ආසියාව ඇතුළු බොහෝ රටවල පවතින සංස්කෘතික සීමා මායිම් නිසා පිරිමි පාර්ශවයට ලැබෙන නිදහස කාන්තාවන්ට හිමිවන්නේ ඉතා සීමිත ලෙසය.

කුඩා කාලයේ සිට තමන්ගේ සිතේ ඇතිවූ එම ආශාව සපුරා ගැනීමේ ත්‍රාසජනක අභියෝගාත්මක ඉලක්ක කරා යන කාන්තාවක් සමග සාකච්ජා කිරීමට බීබීසී සිංහල වෙත අවස්ථාව හිමිවිය.

ඇය නමින් විණා ජයමාන්නය.

කවුද මේ විණා ජයමාන්න කියන්නේ ?

වෘත්තීමය වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ මැදිරි කාර්ය මණ්ඩල අධීක්ෂකවරියක් ලෙස සේවය කරනු ලබන ඇය නමින් සුමුදුනී විණා නිර්මලිනි ජයමාන්නය.

මෙරට සමාජ මාධ්‍ය තුළ ඇය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ත්‍රාසජනක ක්‍රීඩාවන් හි නිරත වන කාන්තාවක් ලෙසය.

කුඩා කාලයේ මහනුවර ප්‍රදේශයේ ජීවත්ව ඇති ඇය එහිදී සිය මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්ය.

ඉන් පසුව දංකොටුව ප්‍රදේශයේ පදිංචියට පැමිණීමෙන් පසු වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සහ උසස් පෙළ සඳහා මීගමුව නිව්ස්ටඩ් බාලිකා පාසැලට ඇතුළත්ව ඇය සිය ද්විතීක අධ්‍යාපනය හදාරා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, විණා ජයමාන්න වෘත්තීමය වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවයේ මැදිරි කාර්ය මණ්ඩල අධීක්ෂකවරියක් ලෙස සේවය කරනු ලබයි

ත්‍රාසජනක ක්‍රීඩාවන්ට පෙළඹුණේ කොහොමද ?

කුඩා කාලයේදී සිය සොහොයුරා සමග මහනුවර නිවසේ ගත කළ සමයේදී තමන් ඔහු සමග කාලය ගත කළ බවත්, එහිදී පරිසරය අත්විදීමට හුරු පුරුදු වූ බවත්, වීණා ජයමාන්න බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"මගේ පවුලේ තාත්තයි, අම්මයි එක්ක මට වැඩිමහල් සහෝදරයින් තුන්දෙනෙක් ඉන්නවා.මම තමයි පවුලේ බාලයා."

"නුවර අපේ ගෙදර තිබ්බේ කන්දක් උඩකට වෙන්න."

"මගේ අයියලා තුන් දෙනාගෙන් බාලම චුටි අයියා තමයි මට ගොඩක් ළඟින් හිටියේ."

"චුටි අයියට සමහර දවස් වලට කඩේ යන්න කිව්වම එයා කඩේ යන්නේ නැහැ පාරෙන්. ගෙදර තිබ්බ කන්ද බැහැලා තව කන්දක් තියෙනවා. ඒක හරහා ගිහින් කුඹුරු මැද්දේ යන ගමන් මාළු එහෙම බලලා කොච්චි පාර දිගේ ගිහිල්ලා තමයි කඩේට ගිහින් කරගෙන එන්න කියපු වැඩේ කරන් එන්නේ. මමත් යනවා චුටි අයියගේ පස්සෙන්."

"එහෙම අපි කඩේට ගිහිල්ලා එන්න පැය දෙකක් වගේ යනවා."

"ඒ වගේම පොඩි කාලේ අයියලාගෙන් ගුටි කන්න වෙනවා දඟ වැඩ කළාම. ඒ වෙලාවට ගහක් උඩට නැගලා තමයි බේරෙන්නේ."

"වයසින් ලොකු වෙනකොට හැමෝම කියන්න ගත්තා මුරණ්ඩු වැඩ නවත්තලා ගැහුණු ළමයෙක් නිසා අම්මා වගේ හොඳට හැදෙන්න කියලා." ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, මහනුවර නිවසේ ගත කළ සමයේ පරිසරය අත්විදීමට හුරු පුරුදු වූ බව වීණා ජයමාන්න පැවසුවාය.

“මම ගැහුණු ළමයෙක් නිසා අවසර ලැබුනේ නැහැ."

සංචාරය කිරීම තමාගේ විනෝදාංශය වුවත් ඊට තමන්ගේ නිවැසියන් ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවූ බව ඇය මෙහිදී සඳහන් කළාය.

"අයියලට ගෙදරින් ඇවිදින්න යන්න අවසර දුන්නට මම ගැහුණු ළමයෙක් නිසා අවසර ලැබුනේ නැහැ."

"මම ඒ ගැන ප්‍රශ්න කරද්දී ගෙදරින් කිව්වේ එක්කෝ අයියලා එක්ක යන්න, නැත්නම් කසාඳ බැඳලා ස්වාමි පුරුෂයා එක්ක යන්න කියලා."

"ඇවිදින්න ආසා නිසා රැකියාව වෙනස් කළා."

උසස් පෙළ විභාගයෙන් පසුව තමන්ට ගුරුවරියක් ලෙස සේවය කිරීමට අවස්ථාව උදාවූ බව ඇය සඳහන් කළාය.

තමාගේ කැමැත්ත වූ ශ්‍රී ලංකාව තුළ සංචාරයේ යෙදීමේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට ගුරුවරියක් ලෙස ලැබෙන මුල්‍ය පසුබිම තුළ සිදුකළ නොහැකි නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වීමට තිරණය කළ බව ඇය පැවසුවාය.

"මම ඒකත් ගෙදරට කියන්නේ නැතුව නුවර ගිහිල්ලා තනියම යාලුවෙකුගේ ගෙදර ඉදලා එයාගේ නංගි ගේ සාරියක් ඇඳගෙන ගිහිල්ලා තමයි ශ්‍රී ලන්කන් එකේ ඉන්ටර්විව් එකට ගිහින් සිලෙක්ට් වුණේ."ඇය පැවසුවාය.

ත්‍රාසජනක ක්‍රීඩාවේ පළමු අත්දැකීම

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රාජකාරි කිරීම ආරම්භ කිරීමෙන් පසු තමන්ට පළමු වරට ත්‍රාසජනක ක්‍රීඩාවක යෙදීමට අවස්ථාව උදාවූ බව වීණා ජයමාන්න පැවසීය.

"ශ්‍රී ලන්කන් එකේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ 2008 අවුරුද්දේ දී තායිලන්තයේ බැංකොක් වල ඉන්න කොට පතායා වලට මම තනියම ගියා ට්‍රිප් එකක් බුක් කරගෙන."

"එහිදී මට අවස්ථාව ලැබුණා 'පැරා සේලින් සහ ජෙට් ස්කි' කරන්න."

"මට මාරම ආසයි ඒ ලැබුණ නිදහස ගැන.මොකද පොඩි කාලේ ගෙදරදී මම ආසා දේ කරන්න ඉඩ නොලැබුණු නිසා. "

"ඒ කාලේදී ලංකාවේ ඒ තරම් ත්‍රාසජනක ක්‍රීඩාවන් තිබුණේ නැහැ."

"2010 වසරේදී මගේ තව යාලුවෝ දෙන්නෙක් එක්ක බ්‍රසීලයේදී ' හැන්ග් ග්ලයිඩීං' කියන ක්‍රීඩාවේ නිරත වුණා."

"විදේශ රටවලට ගියාම එහෙ තියෙන සුවිශේෂී ස්ථාන නරඹන්නන ගියා වගේම ලංකාවේදීත් යාල, වස්ගමුව වගේ තැන්වල ඇවිදින්න ගියා." ඇය සිය මතකයින් ආවර්ජනය කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, සංචාරය කිරීම තමාගේ විනෝදාංශය වුවත් ඊට තමන්ගේ නිවැසියන් ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවූ බව වීණා සඳහන් කළාය.

ගමන් මග වෙනස් කළ ‍ඡායාරූපය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ ආකාරයෙන් දෙස් විදෙස් ආකර්ෂණීය ස්ථානවල තමන් සංචාරය කරමින් සිටියත් 2017 වසරේදී දුටු එක් ‍ඡායාරූපයක් නිසා එහි සංචාරය කිරීමේ තදබල ආසාවක් තමන් තුළ ඇතිවූ බව විණා ජයමාන්න පැවසීය.

" එක සැරයක් 2017 වසරේදී දැක්කා දුවිලි ඇල්ලේ ෆොටෝ එකක්. මට එතනට යනකම් ඉවසුමක් නැතුව හිටියේ."

"කොහොම හරි යාලුවෝ ටික දෙනෙකුත් එකතු කරගෙන, ගයිඩ් කෙනෙකුත් එක්ක ගෙන ගියා "

"ඒත් මගේ යාලුවන්ට ඒ ගමන ඒ තරම් සුන්දර වුණේ නැහැ. මොකද කැලෑවල් ඇතුලෙන් ගිහින්, කුඩෑල්ලෝ එල්ල ගෙන යන්න වුණ නිසා ගොඩක් දුර පයින්ම."

"එයාලා කිව්වා ආපහු මේ වගේ ගමන් යන්න නම් කතා කරන්නවත් එපා කියලා."

"ඒත් මට නම් එතනට ගියාම දැනුණේ දිව්‍ය ලෝකයකට ගියා වගේ හැඟීමක්. ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියනවද කියලා හිතුණා."ඇය කියා සිටියාය.

මෙම සංචාරයෙන් පසු තමන් මාර්ගෝපදේශකවරයෙකු ගේ සහය සහිතව ලංකාවේ පිහිටා ඇති කඳු, දිය ඇළි ආදිය නැරඹීමට කටයුතු කළ බවත් පසුව තනිවම සංචාරය කිරීමට පෙළඹුණු බවත් ඇය කියා සිටියාය.

"පස්සේ පස්සේ මම වාහනෙන් තනියම සංචාරය කරන්න පුරුදු වුණා. හෝටලයක් වෙන් කරගෙන එතනට ගිහිල්ලා මම යන්න අවශ්‍ය තැන් වල සංචාරය කරනවා."

"මම එක පාරක් හෝටලයක කාමරයක් වෙන් කරලා යද්දී වෙනත් කෙනෙක් ඒ කාමරේ වෙන් කරලා. ඉතින් මට සිද්ධ වුණා හෝටලේ රියැදුරන්ට ලබා දෙන නවාතැනක එදා දවසේ ඉන්න." ඇය තමන් ලද අත්දැකීම් පිළිබඳව සඳහන් කර සිටියාය.

'තනියම සංචාරය කරද්දී හිතන්නේ වෙනත් විදිහකට'

ශ්‍රී ලංකාව තුළ තරුණියක් හෝ කාන්තාවක් සංචාරය කරන විට බොහෝ දෙනා හිතන්නේ ඇය විදේශ ජාතිකයෙකු ලෙස බව විණා ජයමාන්න කියා සිටියාය.

" ඔහොම මම ට්‍රැවල් කරද්දී ගොඩක් අය හිතන්නේ මම විදේශීය ජාතිකයෙක් කියලා."

"මම ලංකාවේ වටා පාපැදි සවාරියක් ගියපු වෙලේ ඒ අය හිතුවේ ලංකාවේ තනියම ගැහුණු ළමයෙක් ඇවිදිනවා නම් ඒ විදේශිකයෙක් කියලා."

"මොකද අපේ රටේ මිනිස්සු හිතනවා ලංකාවේ තරුණියකට තනියම සංචාරයකට යන්න තරම් හැකියාවක් හෝ ආත්ම විශ්වාසයක් නැහැ කියලා. මට තියෙන ප්‍රශ්නේත් ඒකයි." ඇය කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇබර්ඩීන්, ගාට්මෝ, ඹබරකන්ද, බෝඹුරු ඇල්ල වැනි දිය ඇලි 10 කට අධික සංඛ්‍යාවකින් පහළට බැසීමට තමාට හැකියාව ලැබුණු බව වීනා ජයමාන්න කියා සිටියාය

‘ලංකාවේ උසම දිය ඇල්ලෙන් පහළට බැස්ස පළමු කාන්තාව මමයි’

තමන් තනිවම සංචාරය කරමින් සිටින විට මෙරට තුළ ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩාවන් හි නිරත කන්ඩායමක් වන 'මාර්වල් ශ්‍රී ලංකා' නිර්මාතෘවරයා වන ඉෂාන් රොක්ස් 2020 වසරේදී මුණ ගැසුණු බවත් පසුව ඔවුන් සමග එක්ව සංචාරය කිරීමට පෙළඹුණු බවත් විණා ජයමාන්න කියා සිටියාය.

එම කණ්ඩායම සමග එක්වීමෙන් පසු තමන්ට කඹ ආධාරයෙන් දිය ඇලිවල මුදුනේ සිට පහළට බැසීමට අවස්ථාව උදාවුණු බව ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, ඹබරකන්ද දිය ඇල්ල කඹයක ආධාරයෙන් බැසීම

"මේ කණ්ඩායම මටම ගැලපෙන අය ඉන්නේ. එයාලා තැනක් බලන්න යනවනම් ඒ හැම තැනම ඇවිදිනවා. නිකම් විව් පොයින්ට් එකට ගිහිල්ලා ෆොටෝ එකක් විතරක් අරන් එන අය නෙමේ."

"ඒ අයත් එක්ක තමයි මම මුලින්ම දිය ඇලි වලින් ඇබ්සේල් (කඹ ආධාරයෙන් පහළට බසින්න) කරන්න පටන් ගත්තේ."

"ඇබර්ඩීන්, ගාට්මෝ, ඹබරකන්ද, බෝඹුරු ඇල්ල වගේ දිය ඇලි 10 කට අධික සංඛ්‍යාවක් ඇබ්සේල් කරන්න හැකියාව ලැබුණා." ඇය කියා සිටියාය.

ලංකාවේ උසම දිය ඇල්ල ඹබරකන්ද නිසා ඒකෙන් පහළට බැසීම සඳහා අවශ්‍ය කරන කඹ සහ ආධාරක විදේශ රටවලින් වෙනම ගෙන ඒමට සිදුවූ බව ද ඇය පැවසීය.

ඒ අනුව 2023 වසරේදී ඹබරකන්ද දිය ඇල්ල කඹයක ආධාරයෙන් බැසීමට හැකිවූ බවත් එවැනි දස්කමක් සිදුකළ පළමු කාන්තාව තමන් බවද ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

එමෙන්ම කොළඹ පිහිටි නෙලුම් කුලුනද කඹයක ආධාරයෙන් පහළට බසින ලද පළමු කාන්තාව තමන් බව විණා ජයමාන්න පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, නෙලුම් කුලුනෙන් කඹයක ආධාරයෙන් පහළට බසින අයුරු

තනිව සංචාරය කරද්දී ලද අත්දැකීම්

තනිවම සංචාරය කිරීමේදී තමන්ට මුණ ගැසුණු බොහෝ දෙනා උපකාර කළ බව ඇය මෙහිදී සිහිපත් කළාය.

"ලංකාවේ මිනිස්සුන් ගෙන් බොහෝම ටික දෙනෙක් විතරයි තව කෙනෙකුට අයුතු දෙයක් කරන්න පෙලඹෙන්නේ."

"මට සමහර වෙලාවට තනියම යනකොට පාරවල් එහෙම වැරදුණාම මුණ ගැසුණු අය ඉන්නවා ඔවුන් එයාලා කරන් ඉන්න වැඩේ නතර කරලා උදව් කරන්න ඉදිරිපත් වුනු."

"මට අවශ්‍ය අපේ රටේ ඕනෑම කෙනෙක්ට නිදහසේ ආරක්‍ෂිත වටාපිටාවක් තියෙනවා කියලා තනියම සංචාරය කරන්න."

"ඒ වගේම තනියම සංචාරය කරද්දී තමන් දැන ගන්න ඕන තමන් යන වටපිටාව ගැන අවධානයෙන් ඉන්න. මොකද අපිට මොළයක් දීලා තියෙන්නේ ඒකටනේ." ඇය කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන් කරන රැකියාව සහ විනෝදාංශය සමබරව කරගෙන යාම සඳහා සැමවිටම කටයුතු කරන බව වීණා පැවසුවාය.

මුහුණ දුන් අමතක නොවන අත්දැකීම් මොනවාද ?

ත්‍රාසජනක ක්‍රීඩාවන් වල නියැලීමේදී තමන්ට මුහුණ දීමට සිදුවූ අමතක නොවන සිදුවීම් මොනවාදැයි බීබීසී සිංහල ඇය ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඇය ඊට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"ගිය අවුරුද්දේ තමයි අමතක නොවන සිදුවීමකට මුහුණ දුන්නේ මම."

"නකල්ස් වල තියෙනවා නාඇල්ල කියලා ඇල්ලක්. මම ගයිඩ් කෙනෙක් එක්ක ගියා ඒක බලන්න කියලා."

"ඒ ඇල්ල උඩට යන්න යන්න තව පොඩි පොඩි දිය වළවල් වගේ තියෙනවා."

"ගයිඩ් පල්ලෙහා ඉද්දි මම ඇල්ල පටන් ගන්න තැන උඩටම නැග ගෙන ගියා."

"එහෙම ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න හදනකොට ලිස්සලා වැටුණා අර දිය ඇල්ලේ වතුර වැටෙන්න පටන් ගන්න වලට."

"කොච්චර ට්‍රයි කළත් උඩට එන්න මට විදිහක් තිබුනේ නැහැ මොකද අර උඩින් වැටෙන වතුර පාරේ සැරට වල ඇතුලටමයි යන්නේ. මම හිතුවේ නම් එදා මගේ අවසානේ කියලා. ඒත් කොහොම හරි ට්‍රයි කරලා උඩට ආවා. ඒක තමයි මට මේ ගමන් වල මුහුණ දුන්න අමතක නොවන අත්දැකීම." ඇය කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Oshada Madushanka

ඡායාරූප ශීර්ෂ වැකිය, දිවයින වටා දින 18 ක කඳවුරු සංචාරය

අනාගත බලාපොරොත්තුව

මේ වන විට තමන් ලංකාව වටේම යතුරු පැදියෙන් ගමන් කර ඇති බවත්, රටේ සියලුම ප්‍රධාන ගංගා ' කයාක් ඔරු' හරහා තරණය කර ඇති බවත් ඇය පැවසුවාය.

එමෙන්ම රටේ ප්‍රධාන දිය ඇලි රැසක් කඹ ආධාරයෙන් ඉහළ සිට පහළට බැස තිබෙන අතරම සුප්‍රසිද්ධ දොළුකන්ද කඹ ආධාරයෙන් පැනීම මෙන්ම කඹ ආධාරයෙන් තරණය කළ බව ද ඇය පැවසුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, දොළුකන්ද කඹ ආධාරයෙන් පැනීම

තමන් කරන රැකියාව සහ විනෝදාංශය සමබරව කරගෙන යාම සඳහා සැමවිටම කටයුතු කරන බව පැවසූ විණා ජයමාන්න ඉදිරියේදී තමන්ට එවරස්ට් සහ කිලිමංජාරෝ කඳු තරණය කිරීමේ බලාපොරොත්තුවක් අති බවද කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Sankalpa Bandara

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රධාන ගංගා සියල්ල ' කයාක් ඔරු' මගින් තරණය කර ඇති බවද වීණා පැවසුවාය.

‘නිදහස දෙන්න අපිට’

මේ ආකාරයෙන් සංචාරය කිරීමට කැමැත්තක් දක්වන තරුණියන්ට සහ කාන්තාවන්ට අත්දැකීම් සහිත කාන්තාවක් ලෙස ලබා දීමට කැමති උපදෙස කුමක්දැයි බීබීසී සිංහල සේවය ඇයගෙන් විමසීමක් කරන ලදී.

එයට ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරක්,

"අපේ පවුල්වල අයට ඥාතීන්ට කියන්න තියෙන්නේ අපිට නිදහස දෙන්න කියලා."

"මට වුනත් මෙච්චර කාලයක් බලන් ඉන්න වුණා. අපිට ආසාව තියෙනවා. නමුත් තහංචි සීමාවල් පනවලා තියෙනවා. අපිට කරන්න ඉඩ නොදෙන එකයි තියෙන්නේ."

"තමන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගෙන නිදහසේ වැඩ කරන්න ඉඩ ලබා දෙන්න ඕන. එතකොට එයාලටම දැනෙනවා තමන් කළ යුතු දේ මොකක්ද සහ නොකළ යුටු දේ මොකක්ද කියලා. "

"මම කියන්නේ කවුරු හරි නංගි කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් ට්‍රැවල් කරන්න, කඳු නගින්න, ඒ දේවල් පොඩියට පටන් ගන්න. මොකද පොඩියට පටන් ගන්න දේවල් වලින් තමයි අපි අපේ ජීවිතේ පාඩම් ඉගෙන ගෙන පන්නරයක් ලබන්නේ."

"කවුරුත් කරන දේම තමන් කරන්න හදන්න එපා. තමන්ට ගැලපෙන සහ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න." ඇය වැඩිදුරටත් පැවසුවාය.