'මම රාජාභිෂේකය නරඹන්නැත්තේ ඇයි?'

ඡායාරූප මූලාශ්‍රය, Joana Firmino

ඡායාරූප ශීර්ෂ වැකිය, උත්සව සැමරුම් වෙනුවෙන් "කාලය නාස්ති කරනවා" වෙනුවට ජොඈනා නිවාඩුවකට ෆිලිපීනයට යෑමට තීරණයකර තිබේ

මැයි හයවන දා තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය නැරඹීම සඳහා මිලියන ගණනක් ජනයා එක්වනු ඇතැයි අපේක්ෂිත ය. ඇතැමුන් සෙනග සමග ප්‍රීත්‍යුත්සව පවත්වමින්, උත්සවවලට සහභාගීවෙමින් සිටිද්දී, තවත් පිරිසක් මෙම උත්සවය මඟහැරීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගනු ඇත.

බීබීසී පුවත් සේවය, උත්සවය නැරඹීමට අදහසක් නොමැති පුද්ගලයින් සිව්දෙනෙකු හා කතාබහ කළේය.

'මේක මහජන මුදල් විශාල ලෙස නාස්ති කිරීමක්'

ඡායාරූප මූලාශ්‍රය, Oli Silverwood-Cope

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජාභිෂේකය, පවුල් සෞඛ්‍ය සේවිකා ඔලීට "දැඩි කෝපයක්" ඇති කරයි

ඔලී සිල්වර්වූඩ්-කෝප්ට උත්සවය නැරඹීමේ කිසිදු සැලසුමක් නැත. රාජාණ්ඩුව යනු අහෝසිකර දැමිය යුතු යල් පැනගිය සංස්ථාපිතයකැ යි ඇය පවසයි.

"මම හිතන්නේ ඒක මහජන මුදල් විශාල ලෙස නාස්ති කිරීමක්," නිරිතදිග එංගලන්තයේ ස්ට්‍රෞඩ්හි වෙසෙන 51 හැවිරිදි ඇය කියයි.

ඔලීට අනුව, පරම්පරාගත රාජ්‍ය නායකයෙකු සිටීම ප්‍රජාතන්ත්‍රවිරෝධී, බමුණු කුල දෘෂ්ටියකි.

"අපේ සමාජය මුදුනේම ඉන්නවා මේ ඉතාම කුඩා බමුණු කුල පැලැන්තියක්. ඒගොල්ලො බොහොම සැපෙන් ඉන්න අතරේ අනික් මිනිස්සු අමාරුවෙන්, පවුලට කන්න දෙන්නෙ කොහොමද කියලා හිත හිත ජීවිතේ ගැටගහ ගන්නවා," ඇය පවසයි.

එරට ජාතික සෞඛ්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් වන ඇය, බදු ගෙවන්නන්ගේ මුදල් මීට වඩා හොඳ අයුරකින් වියදම් කළ හැකියැ යි කියා සිටියි.

"අපට 2010 ඉඳන් පඩි වැඩිවීමක් ලැබිලා නැහැ. රජ පවුලට එයාලගෙම පුද්ගලික ධනයක් තියෙනවා. නමුත් අපි, මේ බදු ගෙවන්නන්ට, තමයි ආර්ථික අර්බුදයක් මැද්දේ මේ පෙරහැරට මුදල් ගෙවන්න වෙලා තියෙන්නේ," ඇය ප්‍රකාශ කරයි.

ඇය උත්සවය නරඹනවා වෙනුවට රෝහල වැඩමුරයේ යෙදෙමින්, දරු ප්‍රසූතීන්ට සහායවනු ඇත.

‘ඊට වඩා මං කැමතියි ගෙදරට වෙලා හාන්සියක් දාගෙන ඩෝනට් කන්න’

ඡායාරූප මූලාශ්‍රය, Tarek Ahmed

ඡායාරූප ශීර්ෂ වැකිය, තාරෙක් පවසන්නේ ඔහු පැය තුනක චිත්‍රපටයක් නැරඹීමට වඩාත් කැමතිබව යි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම උත්සවය "පැය ගණන් නැරඹීමට තරම් උවමනාවක්" ඔහුට නැතැයි තාරෙක් අහමඩ් පවසයි.

"ඊට වඩා මං කැමතියි ගෙදරට වෙලා හාන්සියක් දාගෙන ඩෝනට්ස් ටිකක් කන්න," දකුණු එංගලන්තයේ කෙන්ට්හි වෙසෙන මේ 21 හැවිරිදි අලෙවිකරණ විධායකයා පැහැදිලි කළේ ය.

තමා රාජකීය පවුලට සහාය දක්වන්නේ ද නැද්ද යන්න තවමත් තීරණයකර නැතැ යි තාරෙක් පවසයි.

"ඒගොල්ලො රටට සල්ලි ගේනවා නම්, හරි ෂෝක්. එතකොට ජාතික සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය වගේ දේවල්වලට වැඩිපුර සල්ලි ලැබෙනවා. ඒත් ඒක එහෙම නෙවේ නම්, මට ඒගොල්ලන්ව ඕන නෑ. මං මේකට උත්තරයක් දන්නේ නෑ," ඔහු පවසයි.

බීබීසීයේ පැනොරාමා වැඩසටහන වෙනුවෙන් සිදුකෙරුණු YouGov මත විමසුමක දී, රාජාණ්ඩුව දිගටම පවත්වාගෙන යෑම සඳහා 58%ක පුළුල් සහායක් ඇතිබව පෙන්නුම් කෙරිණි. ඒ වෙනුවට, ඡන්දයෙන් තෝරා පත්කර ගන්නා රාජ්‍ය නායකයෙකු වෙනුවෙන් කැමැත්ත පළකර තිබුණේ 26%ක් පමණි.

සිය පවුල සමග නව ඇවටාර් චිත්‍රපටය නරඹමින් එළඹෙන සෙනසුරාදා උදෑසන ගෙවා දැමීමට තාරෙක් සැලසුම් කරයි. නමුත් අනතුරුව ඔහු රාජාභිෂේකය පිළිබඳ සාරාංශයක් සොයා බලනු ඇත.

"මම ඔටුන්න පළඳන අවස්ථාව වගෙ හයිලයිට්ස් කීපයක් බලාවි - ඒවා ඓතිහාසික මොහොතවල් නේ."

රාජාභිශේකය පිළිබඳ ඔහුගේ මතය කෙසේවුව ද, එනිසා ලැබෙන බැංකු නිවාඩුව ගැන තාරෙක් කැමැත්තෙන් පසුවෙයි.

"අපට වැඩිපුර නිවාඩුවක් ලැබුණා. මුළු රටම එහෙම දෙයක් ලබන්න වටිනවා," ඔහු පවසයි.

'චාල්ස් රජවෙන්න සුදුසු යි කියලා මට හිතෙන්නෙ නැහැ'

ඡායාරූප මූලාශ්‍රය, Joana Firmino

ඡායාරූප ශීර්ෂ වැකිය, සැමරුම් 'උණෙන්' ගැලවීමට ජොඈනා රට හැරයයි

චාල්ස් රජුට ඇය අකමැතිබවත්, ඔහු කිරුළු පළඳිනු දකින්නට ඇයට අනවශ්‍යබවත් ජොඈනා ෆර්මිනෝ පවසයි.

"මං හිතන්නෙ නෑ ඔහු ආදර්ශමත් චරිතයක් වෙයි කියලා," කෙන්ට්හි වෙසෙන 21 හැවිරිදි අවන්හල් සේවිකාව පවසයි.

ජොඈනා දෙවැනි එලිසබෙත් රැජිණගේ රසිකාවක ව සිටි අතර ඇය අභාවප්‍රාප්ත වූ විට "දැඩි සිත් වේදනාවට" පත්ව තිබේ.

නමුත්, චාල්ස් රජුගේ ප්‍රථම බිරිඳ හා වේල්ස් කුමරිය වූ ඩයනා හා ඔහු අතර පැවැති ගැටලු පිරි සබඳතාව නිසාවෙන්, ඔහු "හොඳ තීරණ ගන්න එකක් නැහැ"යි ඇය කණස්සල්ලෙන් පසුවෙයි. ඔහුගේ පුත් විලියම් කුමරු "ඊට වඩා සෑහෙන හොඳ රජෙක්" වනු ඇතැ යි ඇය කියයි.

"කිරුළු පළඳවන්නේ විලියම්ට නම්, මං අනිවාර්යයෙන්ම මේක බලනවා. ඒත් මම කැමති නැති කෙනෙක් රජු විදියට කිරුළු පළඳනවා බලන්න පැය ගානක් නාස්ති කරන්න මට ඕනේ නැහැ, වැඩියත්ම ඔහු ඒකට සුදුසු නැහැ කියලා මට හිතෙද්දි," ඇය පවසයි.

ඒ වෙනුවට, ජොඈනා ෆිලිපීනයේ නිවාඩුවක් ගත කිරීමට පිටත්වනු ඇති.

"මං මගේ කාලෙ නාස්ති කරන්න යන්නෙ නෑ. [ඒ වෙනුවට] මම අව්ව තියෙන කාලගුණෙයි, නිවර්තන මුහුදු වෙරළවලුයි විඳිනවා," ඇය වැඩිදුරටත් කියයි.

'මම යූරොවිෂන් එකේ වැඩ එක්ක කාර්යයබහුල වෙනවා'

ඡායාරූප මූලාශ්‍රය, Luke Dudley

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිවර්පූල්හි ගීත ගායනා තරගයක පෙරහුරු සමග ලූක් "ජෑම්-පැක් වී" සිටිනු ඇත

ලූක් ඩඩ්ලි, යූරොවිෂන් ගායනා තරගයේ ස්පොට්ලයිට් ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරන අතර, "එකපිට එක" පවත්වනු ලබන පෙරපුහුණුවීම් නිසා ඔහුට උත්සවය නැරඹීමට නොහැකිවනබව පවසයි.

"ඒක අපි ඉතාම තදින් පිළිපදින, තදටම පැක් වෙච්ච කාලසටහනක්," ඔහු පැහැදිලි කරයි.

උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර්හි වෙසෙන මේ 21 හැවිරිදි තරුණයා ආලෝකකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින්, වේදිකාව මත ගයන කලාකරුවන් සහ නිවේදකයින් වෙනුවෙන් ස්ථාන ආලෝකය සපයයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිවර්පූල් හි යුරෝවිෂන් වේදිකාව විවෘත කරන අවස්ථාවේදී ලූක්, චාල්ස් රජු සහ කැමිලා දැක තිබේ

ලූක්, "අපේ ඉතිහාසයෙ බාරදූර කාල පරිච්ඡේදයක්" ඔහුට මඟහැරීම ගැන බලාපොරොත්තු කඩවීමෙන් පසුවෙයි.

"පවුලේ අය, යාලුවො පාටි ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් මේක හරිම අපරාදෙ. මං ඒවයෙ ආටෝප, උත්සවාකාර ගතියට, ඒ දර්ශනයට හරි කැමතියි," ඔහු කියයි.

රාජාභිෂේක සාදයන්ට සහභාගීවීමට ලූක්ට නොහැකිවුණත්, ඔහුට "යූරොවිෂන් වගෙ අවස්ථාවක් මඟාරින්න බැහැ,"යි ඔහු පවසයි.

"මම ඉන්නෙ උපරිම උද්‍යෝගයෙන්. මේ වගේ වෙන කිසි දෙයක් නැහැ."