'All eyes on Rafah': මිලියන 44කට අධික පිරිසක් ෂෙයාර් කළ ගෝලීය ව්‍යාපාරය

ඡායාරූප මූලාශ්‍රය, MOHAMMED BADRA / EPA

අවතැන් වූ පලස්තීනුවන් ජීවත් වන කූඩාරම් දැක්වෙන සහ "All Eyes on Rafah" '(සියලු දෑස් රෆා වෙත යොමු වී ඇත) යන පාඨය සඳහන් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

ඉන්දියාව, පකිස්ථානය සහ පුවර්ටෝ රිකෝහි ජනප්‍රිය පුද්ගලයින් ඇතුළුව මිලියන 44කට අධික ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් පිරිසක් විසින් ෂෙයා කරනු ලැබ මැලේසියාවෙන් සමාජ මාධ්‍යවලට එක් වුණු මෙම ඡායාරූපය අන්තර්ගත මුල් පෝස්ටුව සොයා ගැනීමට බීබීසී අරාබි සේවයට හැකි විය.

මෙම ඡායාරූපය සහ පාඨය බොහෝ දෙනෙකු අතර හුවමාරු වූයේ, ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක ප්‍රතිඵලයක් ලෙස ගාසා තීරයේ දකුණට වන්නට පිහිටා ඇති රෆා නගරයේ අවතැන් වූ පලස්තීනුවන් ජීවත් වූ කඳවුරක් ගිනිගෙන දැවීමෙන් පසුව ය.

හමාස් සංවිධානයේ පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, මෙම සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු මිය ගොස් ඇති බව ය. තවත් සිය ගණනක් දරුණු පිළිස්සුම්, අස්ථි බිඳීම් සහ පුපුරණ ද්‍රව්‍යවල කොටස් වැදී තුවාල ලබා ප්‍රතිකාර ලැබූහ.

ලෝක නායකයින්, රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් මෙම මරණ පිළිබඳව තම ශෝකය පළ කර එම සිදුවීම හෙළා දැක ඇත.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එය "අවාසනාවන්ත ලෙස සිදු වූ අත්වැරැද්දක්" ලෙස හැඳින්වූයේ ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තහවුරු කරමිනි.

ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි එහි දර්ශන විස්තර කළේ, "හද කම්පා කරවන" බව පවසමිනි. නමුත් ඔහු "කියන්න තරම් ප්‍රතිපත්තිවල වෙනසක් සිද්ධ වෙලා නැහැ," යනුවෙන් ද පැවසීය.

බීබීසී අරාබි සේවයේ සොයා ගැනීම් අනුව, රෆාහි කූඩාරම් ප්‍රහාරයට ලක් වීමෙන් පසු, මෙම ඡායාරූපය බොහෝ දෙනෙකු අතර හුවමාරු වීම ඇරඹුණේ මැලේසියාවේ තරුණයෙකු එය තම සමාජ මාධ්‍ය ගිණුමේ පළ කිරීමත් සමග ය.

එසේ නම් මෙම ඡායාරූපය පැමිණියේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Instagram

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියානු නිළියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ප්‍රියංකා චොප්රා ද කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද (AI) 'All eyes on Rafah' ඡායාරූපය ෂෙයාර් කළ ජනප්‍රිය පුද්ගලයින් අතර වේ.

'All eyes on Rafah' යන සටන් පාඨය ආරම්භ වූයේ කොතැනින් ද?

රෆා නගරයේ වූ කූඩාරම්වලට ඊශ්‍රායලය විසින් පහර දෙනු ලැබීමත් සමග ඊශ්‍රායල සෙබළුන් වාඩිලාගෙන සිටින පලස්තීන ප්‍රදේශවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු වන රිචඩ් පෙපර්කෝන් උපුටා දක්වමින් පෝස්ට් පළ කිරීම ඇරඹිණි.

පෙබරවාරි මාසයේදී ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ, "සියලු දෑස් රෆා වෙත යොමු වී ඇත" යනුවෙනි. එවකට ඔහු ඊශ්‍රායල හමුදා නගරයට පහර දෙනු ඇති බවට ද අනතුරු ඇඟවීමක් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, United Nations

ඡායාරූප ශීර්ෂ වැකිය, රිචඩ් පෙපර්කෝන් මාධ්‍යවේදීන්ට, "සියලු දෑස් රෆා වෙත යොමු වී ඇත" යනුවෙන් පසුගිය පෙබරවාරියේදී ප්‍රකාශ කළේය.

පෙපර්කෝන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මාධ්‍යවේදීන්ට මාර්ගගත ඇමතුමක් හරහා ආමන්ත්‍රණය කළේ ය.

ඊශ්‍රායල හමුදාව මහා පරිමාණයෙන් නගරය වෙත ආක්‍රමණයක් සිදු කළහොත් "සිතාගත නොහැකි ව්‍යසනයක්" සිදුවනු ඇතැයි තමා බියෙන් පසු වූ බව ඔහු එහිදී පැවසීය.

රෆාහි සිදු කෙරෙන ඊශ්‍රායල හමුදා මෙහෙයුමක් සම්බන්ධයෙන් තම කනස්සල්ල සහ විරෝධය ප්‍රකාශ කිරීමට නිලධාරීන් සහ ක්‍රියාකාරීන් එතැන් සිට පෙපර්කෝන්ගේ මෙම වැකිය දිගින් දිගට ම භාවිත කිරීමට පටන් ගත්හ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ශිෂ්‍යයන් පැරිසියේ Sciences Po විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල ඉදිරිපිට මාර්ගය ග්‍රහණයට ගෙන සිටින අතර 'All eyes on Rafah' පුවරු ප්‍රදර්ශනය කරන අයුරු

ඉන් පසු උදා වූ මාස ​​කිහිපය තුළ, ලොව පුරා රැලිවල සහ සමාජ මාධ්‍යවල "All eyes on Rafah" යන පාඨය දැකගත හැකි විය.

අයර්ලන්ත ගායිකා ක්ලෙයාර් සෑන්ඩ්ස් ද මෙම වාක්‍ය ඛණ්ඩය සිය පෝස්ට් එකක් තුළ සඳහන් කළේ, රෆා නගරයට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන ඕනෑ ම ආකාරයක ප්‍රහාරයක් නතර කරන ලෙස දේශපාලනඥයන්ගෙන් ඉල්ලමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Clare Sands / X

ඡායාරූප ශීර්ෂ වැකිය, අයර්ලන්ත ගායිකා ක්ලෙයාර් සෑන්ඩ්ස් 'All eyes on Rafah' යන වාක්‍ය ඛණ්ඩය ඇතුළත් වීඩියෝවක් පළ කළා ය.

පසුගිය දින දෙක තුළ ඡායාරූපය සමාජ මාධ්‍ය පුරා පැතිර ගියේ කෙසේ ද?

විවිධ නගරවල විරෝධතාකරුවෝ ද එම සටන් පාඨය ම සහිත බැනර් ඔසවමින් සහයෝගීතාවයේ පෙළපාලි පැවැත්වූහ.

මැලේසියාවේදී මුල් වරට සමාජ මාධ්‍ය වෙත එක් කෙරුණු මෙම ඡායාරූපය සඳහා ද පෙබරවාරි මාසයේදී ප්‍රසිද්ධියට පත් වූ මෙම වාක්‍ය ඛණ්ඩය යොදා ගැනිණි.

මෙම ඡායාරූපය සහ සටන් පාඨය ෂෙයා කළ ජනප්‍රිය පුද්ගලයින් අතර, පොප් ගායක රිකී මාටින්, තුර්කි නිළි ටූබා බුයුකුස්ටුන්, ඉන්දියානු නිළි ප්‍රියංකා චොප්රා සහ සිරියානු නිළියක වන කින්ඩා අලූෂ් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, shahv4012 / Instagram

ඡායාරූප ශීර්ෂ වැකිය, මැලේසියානු ජාතිකයෙකු විසින් නිර්මාණය කළ AI රූපයේ මුල් පෝස්ටුව කෝටි මිලියන ගණනක් හුවමාරු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Instagram

ඡායාරූප ශීර්ෂ වැකිය, පොප් ගායක රිකී මාටින් ද මෙම AI ඡායාරූපය බෙදාගත් බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් අතුරින් කෙනෙකි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊ-මාකටින්ග් සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ උපදේශක මෙහෙර් නම්මාරි බීබීසී අරාබි සේවය වෙත පැවසුවේ, මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද බවට ඔහු විශ්වාස කිරීමට ප්‍රධාන හේතුව එහි ඡායාරූපමය වශයෙන් තාත්වික බවක් නොපෙනීම බව ය. මෙම ඡායාරූපයේ සැබෑ ස්ථානයක් හෝ රෆා නගරය අන්තර්ගත නොවේ.

එය "All Eyes on Rafah" යන පාඨය සමග විශාල කාන්තාරයක් සහ කූඩාරම් සහිත කඳවුරක් නිරූපණය කරයි.

නම්මාරි පැවසුවේ, ඉන්ස්ටග්‍රෑම්හි ඇති "Add Yours" යන විශේෂාංගය එය පුළුල් ලෙස ෂෙයා කිරීමේදී භාවිත කර ඇති බව ය.

ක්ලික්ස් (clicks) දෙකකින් ඊට සහභාගී වීමට පරිශීලකයින්ට අවස්ථාව ලැබෙන අතර එමගින් මිලියන සංඛ්‍යාත ජනතාවකට ඊට පහසුවෙන් සම්බන්ධ වීමට හැකියාව ලැබේ.

නමුත් නම්මාරි පෙන්වා දෙන්නේ, සිද්ධියේ ස්වභාවය සහ ඉන් පසුව ඇති වූ ඔන්ලයින් අන්තර්ක්‍රියා (interaction)මෙම ඡායාරූපය හුවමාරු වීමට උපකාරී වූ බව ය.

"ඉරිදා රෆාහි සිද්ධ වෙච්ච ප්‍රහාරය ගැන බොහෝ දෙනෙක් කම්පා වෙනවා," යැයි පවසමින් ඔහු මේ ආකාරයට සාර්ථක ලෙස ව්‍යාප්ත නොවුණු, වෙනත් ගැටලු වෙනුවෙන් බිහි වුණු බොහෝ ව්‍යාපාර සමග මෙය සංසන්දනය කරයි.

ඉන්ස්ටග්‍රෑම්හි නීති මගින් සීමා කර ඇති රුධිරය අන්තර්ගත දර්ශන, සැබෑ පුද්ගලයින්ගේ ඡායාරූප, නම් හෝ කම්පනයට පත්වනසුලු දර්ශන එහි අනතර්ගත නොවීම මෙම ඡායාරූපය පුළුල් ලෙස ෂෙයා වීමට තවත් හේතුවක් බව නම්මාරි පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, නේපල්ස් හි පලස්තීන හිතවාදී සිසුන් ඊශ්‍රායල ලොජිස්ටික් සමාගමෙන් පිටත විරෝධතාවයේ යෙදී සිටින අතර, 'All eyes on Rafah' යන වාක්‍ය ඛණ්ඩය බිම කර ඇති අයුරු

සමාජ ව්‍යාපාර පුළුල් ලෙස ව්‍යාප්ත වීමට ඉන්ස්ටග්‍රෑම් විශේෂාංග උපකාර වන්නේ කෙසේ ද?

"shahv4012" විසින් පළ කරන ලද ස්ටෝරීස් සඳහා 2021 වසරේදී ඉන්ස්ටග්‍රෑම් විසින් හඳුන්වා දෙන ලද “Add Yours” යන විශේෂාංගය භාවිත කර ඇත. එමගින් ඕනෑ ම පරිශීලකයෙකුට ඡායාරූපයක් පළ කිරීමට මෙන් ම තම ගිණුමේ සිටින සෙසු පරිශීලකයින්ට ඊට ප්‍රතිචාර දැක්වීමට ඉඩ සලසයි.

නම්මාරි පවසන්නේ, මෙම විශේෂාංගය ආරම්භයේ සිට ම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් විසින් භාවිත කරන ලද බව ත් ඒ ඔස්සේ පුද්ගලයෙකු තමන් යන ස්ථානයක හෝ අවන්හලක පින්තූරයක් පළ කළ විට සෙසු පරිශීලකයින්ට ද ඊට ඔවුන්ගේ පින්තූර එකතු කිරීමට අවස්ථාව ලැබෙන බව ත් ය.

දේශපාලන හෝ සමාජ ව්‍යාපාර හෝ මහජන මත විමසීම සඳහා මෙවැනි විශේෂාංගයක් යොදා ගැනීම මෑතකාලීනව වර්ධනය වූවක් බව ද ඔහු පැවසීය.

"ගොඩක් අවස්ථාවලදී කවුරු හරි කෙනෙක් මේ විශේෂාංගය දේශපාලනික අරමුණක් වෙනුවෙන් පාවිච්චි කරන්න පටන් ගන්නේ, මහා පරිමාණ ප්‍රචාරණ ව්‍යාපාරවලට උදව්වක් විදිහට. මොක ද ඒ පෝස්ට් එක කාලයත් එක්ක මිනිස්සු අතරට යන නිසා."

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමෙන් පසු Black Lives Matter ව්‍යාපාරය ලොව පුරා ව්‍යාපාරයක් බවට පත්විය.

පෙර පැවති ව්‍යාපාර?

සමාජ මාධ්‍ය හරහා සහයෝගීතාවයේ පණිවිඩයක් ප්‍රචාරය කළ පළමු ව්‍යාපාරය කිසිසේත් ම මෙම ව්‍යාපාරය නොවේ.

2020 සහ 2021දී කළු ජාතිකයින් අත්විඳි ජාතිවාදය, වෙනස් කොට සැලකීම සහ අසමානතාව ඉස්මතු කිරීමට "Black Lives Matter," යන වාක්‍ය ඛණ්ඩය නොඑසේ නම්, හැෂ් ටැග් එක භාවිත කෙරිණි.

පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රමුඛ පෙළේ ඝාතනවලින් පසුව එහි භාවිතය එක්සත් ජනපදයේ වර්ධනය වූ නමුත් එය එක්සත් රාජධානියේ සහ වෙනත් තැන්වල ද භාවිතා කර ඇත.

සුඩානයේ, මිනිසුන් සිය ගණනකගේ මරණයට හේතු වුණු සහ තවත් දහස් ගණනක් අවතැන් වීමට හේතු වුණු මිලිටරි කණ්ඩායම් අතර සිදුවුණු ගැටුමින් පසු සමාජ මාධ්‍ය භාවිත කරන්නෝ විරෝධතා දැක්වූහ.

එරට සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණු ප්‍රමුඛතම ව්‍යාපාරයක් වූයේ “Blue for Sudan” ව්‍යාපාරය යි.

ඡායාරූප මූලාශ්‍රය, Online campaign slate

ඡායාරූප ශීර්ෂ වැකිය, 'Blue for Sudan' ව්‍යාපාරය හරහා අගනුවර විරෝධතාකරුවන්ගේ ආධාරකරුවන්ට සහයෝගීතාවය පෙන්වීමට හැකි විය.

සුඩානයේ අගනුවර වන කාර්ටූම්හි විරෝධතාකරුවන්ට සහයෝගය පළ කිරීමට සමාජ මාධ්‍ය පරිශීලකයෝ සිය ගිණුම්වල තම රූපය වෙනුවට නිල් පැහැය අඩංගු ඡායාරූපයක් යෙදූහ.

මෙම වාක්‍ය ඛණ්ඩය පසුව පොදු දේශපාලන හා ආර්ථික ඉල්ලීම්වල ප්‍රකාශනයක් බවට පත් විය.

2023දී, දහස් ගණනක් ජනයාට දිවි අහිමි කළ මොරොක්කෝවේ මරාච් නගරයට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙත තම සහය පළ කිරීමට ලොව පුරා සිටින ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් සමාජ මාධ්‍යවල පෝස්ට් පළ කළහ.

ඔවුහු තම ශෝකය ප්‍රකාශ කිරීමට, ආධාර එකතු කිරීමට සහ වින්දිතයින්ගේ පවුල් වෙත තම සහය පළ කිරීමට ඉන්ස්ටග්‍රෑම්හි ස්ටෝරීස් හරහා ඡායාරූප පළ කළහ.