IPL: ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට යයි: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා 'විරෝධයක් නොමැති බව සඳහන් ලිපිය' නිකුත් නොකිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඔහු එමගින් ඉල්ලා ඇත්තේ, 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකි වන පරිදි තමන් වෙත 'විරෝධයක් නොමැති බව සඳහන් ලිපිය' (NOC) නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ය.
ජ්‍යෙෂ්ඨ උපදේශක නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පැමිණිල්ල අද (අප්‍රේල් 02) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පැමිණිලිකරු කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී ඇති බවත් එම ගිවිසුම පසුගිය මාර්තු මස 31 වන දා කල් ඉකුත් වීමට නියමිතව තිබූ බවත් ය.
තමන් මීට පෙර ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග වලට සහභාගි වී ඇති බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් තරග සමග ගැටුමක් ඇති නොවන ආකාරයට එම තරගවලට සහභාගී වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
2024 සහ 2025 වසරවල තමන් 'රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු' කණ්ඩායම නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කළේ ය.
එම තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තමන්ට 2024 සහ 2025 වසරවල 'විරෝධතාවක් නොමැති බව' දැක්වෙන සහතිකය (NOC) නිකුත් කළ බව සඳහන් කළ පැමිණිකරු එවැනි සහතිකයක් නොමැතිව තමන්ට මෙවර තරගාවලියට සහභාගි විය නොහැකිව සිටින බවත් පෙන්වා දුන්නේ ය.
මෙවර තරගාවලියට සහභාගි වීම සඳහා විරෝධතා නොමැති බව සඳහන් ලිපිය නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළත් එම ඉල්ලීම ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බව පැමිලිණිකරු චෝදනා කරයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම ප්‍රතික්ෂේප කිරීමේ තීරණය දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සතුටුදායක ලෙස සමත් නොවීම හේතුවෙන් මෙම අවස්ථාවේදී විරෝධතා නොමැති බව සඳහන් සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් නිර්දේශ හා ස්ථාවරය මත ප්‍රතික්ෂේප කර ඇති බව ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝග්‍යතා තක්සේරුව සමත් වීමට අපොහොසත් වූ බව සඳහන් කරුණු ප්‍රතික්ෂේප කරන බව කී පැමිණිලිකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තමන් ඇති කරගෙන තිබෙන ගිවිසුම ඉකුත් මාර්තු 31 වන දින කල් ඉකුත් වීමට නියමිතව තිබූ බව පැවසීය.
ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම නතර කිරීමට පැමිණිලිකරු අදහස් කළ බව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග තවදුරටත් ගිවිසුමකට එළඹෙන්නේ නැති බව ද ඔහු සඳහන් කර තිබේ.
මෙම තත්ත්වය යටතේ අදාළ සහතිකය නිකුත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු සාධාරණ නීතිමය පදනමක් නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග තමන් ඇති කරගෙන තිබෙන ගිවිසුම කල් ඉකුත් වී තිබියදී මේ ආකාරයෙන් අදාළ සහතිකය නිකුත් නොකිරීම නීති විරෝධී බවත් පැමිණිකරු චෝදනා කළේ ය.
ඒ අනුව 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගිවීමට හැකි වන පරිදි විරෝධතාවක් නොමැති බව සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනිවාර්ය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
කරුණු සලකා බැලීම අප්‍රේල් 09
අදාළ පැමිණිල්ලේ කරුණු සලකා බැලීම සඳහා අප්‍රේල් මස 09 වන දා කැඳවීමට නියම කළ අධිකරණය වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේ ය.
මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නම් කර තිබේ.
වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර 2024 වසරේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මුලින් ම සහභාගි වූ අතර, 2026 වසර සඳහා රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමට මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 1.60ක මුදලකට ය.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත