ගෝඨාභය පලා යෑමට යොදා ගත් නාවික යාත්‍රාවේ වියදම් හෙළිනොකිරීම: අභියාචනාධිකරණයෙන් 'ජාතික ආරක්ෂාව' ගැන තීරණාත්මක තීන්දුවක්

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2022 වසරේ ජූලි මාසයේදී පලා යෑම සඳහා යොදා ගත් බව කියන නාවික හමුදා යාත්‍රාවට වියදම් වූ මුදල් සහ එහි ගෙවීම් සිදුවූ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරවු කිරීම සිදු කරන ලෙස මීට පෙර තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් ලබා දී තිබූ තීන්දුවක් තහවුරු කිරීමට අභියාචනාධිකරණය පසුගිය මාර්තු 19 තීන්දු කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් SLNS ගජබාහු නෞකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගමන් කළ බවට වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී ඒ. ඒ. එම්. ආර්. අලි යන අය විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට යොමු කළ තොරතුරු ඉල්ලීමක් මෙම නඩුවට පාදක වී තිබේ.
අභියාචනය යොමු කර ඇත්තේ කවුද?
ඉහත තොරතුරු ඉල්ලීම මගින් නැවේ නම, ගමන් කාලය සහ ගමන් ප්‍රදේශ, හිටපු ජනාධිපතිවරයා සමග පැමිණි අයගේ නම්, නාවික හමුදාව විසින් දරන ලද මුළු පිරිවැය සහ ගමන සඳහා ගෙවීමේ මූලාශ්‍රය ඇතුළු නිශ්චිත තොරතුරු අටක් ඉල්ලා තිබේ.
ජාතික ආරක්ෂාවට හානි කළ හැකි තොරතුරුවලට අදාළ තොරතුරු පනතේ 5(1)(b)(i) වගන්තිය උපුටා දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව මුලින් 2022 නොවැම්බර් මාසයේදී සම්පූර්ණ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
පසුව තොරතුරු ඉල්ලුම්කරු මෙම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනය කර තිබේ.
2023දී මෙම අභියාචනය විභාග කිරීමෙන් පසුව, කොමිසම 2023.08.29 දින තීන්දු කර ඇත්තේ, 1 සිට 5 දක්වා සහ 8 වන ඉල්ලීම්වලට අදාළ තොරතුරු නාවික හමුදාව ප්‍රතික්ෂේප කිරීම එය තහවුරු කරන නමුත්, 6 සහ 7 වන ඉල්ලීම්වල සඳහන් තොරතුරු, විශේෂයෙන්, ගමන් වියදම සහ ඒ සඳහා මුදල් ගෙවූ අය පිළිබඳ තොරතුරු නිකුත් කරන ලෙස ය.
එම ඉල්ලීම් දෙකට අදාළ තොරතුරු නිදහස් කිරීමට කොමිසම දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නාවික හමුදාපතිවරයා විසින් මෙම අභියාචනය ගොනු කර තිබිණි.
නඩු තීන්දුවේ සඳහන් වන්නේ කුමක්ද?
මෙම මූල්‍ය දත්ත "සාමාන්‍ය තොරතුරු" බවට තොරතුරු කොමිසම විසින් තීන්දු කිරීමට එරෙහිව නාවික හමුදාව තර්ක කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ පිරිවැය සහ ඉන්ධන පරිභෝජනය හෙළි වීමෙන් නැවක වේගය, මෙහෙයුම් පරාසය සහ ඉන්ධන පිරවීමේ රටා ගණනය කිරීමට ඉඩ සලසන බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළ හැකි බවට ඔවුහු කරුණු දක්වා තිබේ.
කෙසේවෙතත් මෙම තොරතුරු දැනටමත් නැව් නිෂ්පාදකයන් හට ගණනය කිරීමට හැකි බැවින් සහ ඒවා දැනටමත් පොදු අවකාශයන් තුළ ඇති බැවින් එම තොරතුරු ආරක්ෂා කළ යුතු ඒවා නොවන බව අධිකරණයේ මතය ලෙස තීන්දුවේ සඳහන් වේ.
මේ අනුව, තොරතුරු නිකුත් නොකිරීමට අභියාචකයා විසින් ලබා දී ඇති හේතුව අසතුටුදායක වන අතර එය පිළිගත නොහැකි බව ද එහි සඳහන් ය.
ජාතික ආරක්ෂාව සහ ස්වෛරීභාවය පිළිබඳ ගැටලු සලකා බැලීමේදී, ජාතික ආරක්ෂාව, ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු වෙත ප්‍රවේශය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජොහැන්නස්බර්ග් මූලධර්ම ද මෙම තීන්දුව සඳහා පදනම් කරගෙන තිබේ.
මෙම තොරතුරු ඉල්ලීමේ ඉල්ලා සිටින සංඛ්‍යාලේඛන සහ ජාතික ආරක්ෂාව අතර තරමක් තාර්කික සම්බන්ධයක් තිබෙන බවට අධිකරණය දකින නමුත්, ජාතික ආරක්ෂාව අනතුරේ පවතින බව ප්‍රකාශ කිරීම, තොරතුරු රඳවා තබා ගැනීම සඳහා "ආවරණයක්" නොවන බවට අධිකරණය නිරීක්ෂණය කරන බවට තීන්දුවේ සඳහන් වේ.
දැනට පවතින නඩුවේදී, නාවික ගමන් වියදම් හෙළිදරව් කිරීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 5 (1) (අ) වගන්තිය යටතේ ජාතික ආරක්ෂාවට ඇති සැබෑ අගතිය අතර පැහැදිලි සම්බන්ධතාවයක් පෙන්වීමට පෙත්සම්කරු අසමත් බව ද එහි සඳහන් ය.
තවද, පනතේ 5 (4) වගන්තිය යටතේ, සිදුවන හානියට වඩා මහජන යහපත බරින් වැඩි නම්, එම තොරතුර හෙළිදරවු කළ යුතු බව ද නඩු තීන්දුවේ එම වගන්තිය උපුටා දක්වමින් සඳහන් කර තිබේ.
ඒ අනුව මේ සියල්ල සලකා බලමින්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ 2023.08.29 දිනැති නියෝගය තහවුරු කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, අභියාචනය ප්‍රතික්ෂේප කරනු ලබන බවට අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර සහ ආර්. ගුරුසිංහ විසින් මෙහිදී නියෝග කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදනවලට ප්‍රකාරව ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ඉතා සංවේදී තොරතුරු පුරවැසියන් වෙත නිකුත් නොකර සිටීමට පොදු රාජ්‍ය අධිකාරියකට බලය තිබෙන බවයි.
එහෙත් තොරතුරු පනත යටතේ තොරතුරු හෙළිදරව් කිරීම නීතිය බවත් එහි ව්‍යතිරේකය වන්නේ එය ප්‍රතික්ෂේප කිරීම බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
නමුත් එවැනි තොරතුරු හෙළිදරව් නොකර සිටීමට නම් ජාතික ආරක්ෂාවට සැබෑ හෝ හඳුනාගත හැකි අගතියක් සිදුවන බව ඔප්පු කළ හැකි ප්‍රබල කරුණු පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.
නමුත් මෙම නඩුකරය සම්බන්ධයෙන් සලකා බැලීමේදී අදාළ ගමන් වියදම් හා ඒවා ගෙවූ අය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම තුළින් ජාතික ආරක්ෂාවට බලපෑමක් සිද්ධවන්නේ කෙසේදැයි ඔප්පු කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය අසමත් වී තිබෙන බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
එවැනි නිශ්චිත සාක්ෂි නොමැති අවස්ථාවක තොරතුරු පනතේ සීමා කිරීම්වලට මුවා වී අදාළ තොරතුරු මුදා නොහැර සිටීමට හැකියාවක් නොමැති බවත් විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කර තිබේ.
ඒ අනුව තොරතුරු කොමිසම විසින් 2023 වසරේ අගෝස්තු මස 29 වනදා නිකුත් කළ නියෝගය තමන් තහවුරු කරන බවත් නාවික හමුදාව විසින් ඉදිරිපත් කළ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු මඩුල්ල අවසානයේදී සිය තීන්දුවෙන් සඳහන් කළේය.


































